ආසියාතික ප්‍රවීණයන්ගේ තරගාවලියට සහභාගිවීමට දායකත්වයක් පතයි | දිනමිණ

ආසියාතික ප්‍රවීණයන්ගේ තරගාවලියට සහභාගිවීමට දායකත්වයක් පතයි

 චීනයේ දි මේ මස පැවැත්වෙන ආසියාතික ප්‍රවීනයන්ගේ මලල ක්‍රිඩා තරගාවලියට සහභාගීවීමට ආරාධනා ලබා ඇතත් එහි යාමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බැවින් බංගදෙණියේ දෙමටපිටිය පදිංචි එස්.එම්.කුලරත්න මහතා කිසිවකුගේ හෝ දායකත්වය බලාපොරොත්තුවෙන් සිටි.

උණ බට කෙක්කක ආධාරයෙන් පොල් කැඩීම සිය ජීවනෝපාය කරගත් 47 හැවිරිදි කුලරත්න මහතා පසුගිය වසරේදී ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගයකට සහභාගි වී ඉන් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයෙකි. හෙතෙම ඒ වසරේදීම සිංගප්පූරුවේ හා බෘනායි හී පැවැති ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගවලට සහභාගි වී ජයග්‍රහණ අත්කර ගත්තේය.

ඔහුගේ ක්‍රීඩා හැකියාව හඳුනාගත් එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලියකුගේ දිරිගැන්වීම මත පුත්තලම දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ ක්‍රීඩා සංගමයට එක්වූ කුලරත්න මහතා ඉන් පසුව සිය ක්‍රීඩා හැකියාව ඔප් නංවා ගත්තේය.

මේ මස 24 වැනිදා සිට 28 දින දක්වා චීනයේ පැවැත්වෙන ආසියානු ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගයේදී මීටර් 5000, මීටර් 1500 සහ මීටර් 800 තරග ඉසව් සඳහා සහභාගිවීමට ඔහුට ආරාධනා ලැබී ඇති අතර ඒ සඳහා රුපියල් එක් ලක්ෂ පනස්දහසක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මට්ටමෙන් හෝ පළාත් සභා මට්ටමෙන් ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරග සඳහා මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බැවින් මේ තරගාවලියට සහභාගිවීමට පරිත්‍යාගශීලියකුගේ මූල්‍ය දායකත්වය ඔහු බලාපොරොත්තු වෙයි.

ඡායාරූප - මුන්නේශ්වරම සමුහ 

නව අදහස දක්වන්න