ශ්‍රී ලංකාවේ බී.එම්.එස්.පිල පළමු තරගයෙන් ජය ගනී | දිනමිණ

ශ්‍රී ලංකාවේ බී.එම්.එස්.පිල පළමු තරගයෙන් ජය ගනී

 රෙඩ්බුල් විශ්ව විද්‍යාලයීය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ පෙරේදා බංග්ලාදේශයේ ලිබරල් ආර්ට්ස් විශ්ව විද්‍යාලයිය කණ්ඩායමට එරෙහිව ලකුණු 47ක ජයක් වාර්තා කිරීමට පසුගිය වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්.) පිල සමත්විය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 188ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 141ක් පමණි. මේ අතර ඉන්දියාවේ පූනේහී මරත්වාද මිත්‍ර මණ්ඩල් වානිජ විදුහල් පිල සමග පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානයේ කරාච්චි නුවර නසීමාබාද් ජින්නා රජයේ විදුහල සමත්විය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 17ක් අවසානයේ ලකුණු 81කට සීමා කළ පාකිස්තානු පිල ඕවර 14.5කදී කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේය.

ඉන්දීය ඉනිම සුණුවිසුණු කළ පාකිස්තානු පිලේ හසන් මෝසින් ලකුණු 21කට කඩුලු 4ක් බිඳ දැමුවේය. පෙරේදා පැවැති සෙසු තරගවලදී දකුණු අප්‍රිකානු වයඹ විශ්ව විද්‍යාලයීය පිල ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයීය පිල පරාජයට පත් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය හැරියට් වොට් විශ්ව විද්‍යාලයිය පිල සිම්බාබ්වේ විද්‍යාව සහ තාක්ෂණවේදී ජාතික විශ්ව විද්‍යාලය පරාජය කිරිමට සමත්විය. 

 

නව අදහස දක්වන්න