එ.ජා.මහ මණ්ඩල සැසිය අද ඇරැඹේ | දිනමිණ

එ.ජා.මහ මණ්ඩල සැසිය අද ඇරැඹේ

මහින්ද අලුත්ගෙදර

ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී අද (12) ආරම්භ වෙයි.

එළඹෙන 25 දා දක්වා මේ සැසිවාරය පැවැත්වෙන අතර රාජ්‍ය නායක සමුළුව එළඹෙන 19 දා ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම මේ මස 16 දා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙන අතර ඒ මහතා 19 දා සමුළුව අමතන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන තුන් වන අවස්ථාව මෙය වෙයි.

‘ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම, තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජිවිතයක්‘යන්න තේමාව කරගනිමින් පැවැත්වෙන මෙවර සැසිවරාය සඳහා සාමාජික රටවල් 193 ක රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරුන් ඇතුළු විශේෂ නියෝජිතයන් 1,000 ට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතව තිබෙන බවද එළඹෙන 19 වනදා සිට මෙවර සැසිවාරයේ විවාදය ආරම්භ වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

පාරිසරික අධ්‍යාපනය, පාරිසරික සම්මුතීන් සහ මානව සංවර්ධනය, තාක්ෂණය සහ නව්‍යකරණය, ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මෙම සැසිවාරයේ දී වැඩි අවාධනයක් යොමු කරමින් සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

සමුළුවේ ආරම්භක දේශනය එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා විසින් සිදුකිරීමට නියමිත අතර රටේ ප්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස මෙන්ම මානව හිමිකම් තහවුරු කරමින් රටතුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට කැපවූ නායකයෙකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දේශනය සුවිශේෂී වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම, ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික, සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම මෙන්ම පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනයකර ගැනීම ඇතුළු ප්‍රධාන අරමුණු කිහිපයක් සාක්ෂාත්කර ගැනීමේ අපේක්ෂාවෙන් 1945 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවාගෙන තිබෙන අතර මේ වනවිට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193කි.

චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 වසරේ ඔක්තෝබර් මස 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලබා තිබෙන අතර සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පැරැණි සාමාජිකයෙකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන ජනාධිපතිවරයා එම සමුළුව අතරවාරයේ දී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට ද සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තෝරා පත්කර ගෙන තිබෙන අතර ඒ අනුව ආසියා හා පැසිපික් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකා නේවාසික නියෝජිත තානාපති ආචාර්ය රොහාන් පෙරේරා මහතා, එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරයේ දි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

 

නව අදහස දක්වන්න