හීන හොයන සමනල්ලු වෙනස්ම වැඩක් | දිනමිණ

හීන හොයන සමනල්ලු වෙනස්ම වැඩක්

ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා

 මේ දිනවල තිරගත වන ‘ධර්ම යුද්ධය’ සහ හීන හොයන සමනල්ලු චිත්‍රපටවල මවගේ භූමිකාවට පණ පොවමින් එකිනෙකට වෙනස් චරිත ද්විත්වයක සිය රංගන දක්ෂතා දක්වන ප්‍රවීණ රංගන ශීල්පිනියක වන දිල්හානි ඒ නිර්මාණ පිළිබඳ ‘රසමංජරිය’ සමඟ කතාබහක යෙදුණේ මෙලෙසිනි.

l මේ දවස්වල ඔබ රඟපෑ චිත්‍රපට දෙකක් තිරගත වනවා. එලෙස තමන් රඟපෑ චිත්‍රපට දෙකක් එක්වර ප්‍රදර්ශනය වීම රංගන ශිල්පිනියකට බොහොම සුවිශේෂයි නේද?

ඇත්තටම ඔව්. රොහාන්ගේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය රූගත කිරීම් සිදුවුණේ මීට වසර දෙකකට පමණ පෙරයි. ඊට පසුවයි ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ තිරගත වීම් සිදුවුණේ. එහෙත් මා රඟපෑ නිර්මාණ දෙකම එක්වර ප්‍රදර්ශනය වීම සතුටට කරුණක්. ඒ දෙක ම හොඳ චිත්‍රපටයි. ඒ සඳහා මා වුණු මහන්සියේ ප්‍රතිඵලය සාර්ථක වනවා නම් වන්නේ සිනමා ප්‍රේක්ෂකයන් ඒ නිර්මාණ කොයිතරම් ආදරයෙන් නරඹලාද කියන කාරණය මතයි. ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් මට බොහොම වැදගත්.

l ඒ ඔබට ලැබුණු ප්‍රතිචාර අතරදි මේ චිත්‍රපට හතර සැරයක් නරඹලා තිබුණු සිනමා ප්‍රේක්ෂකයන් පසුගිය දිනෙක මුණ ගැසුණා?

පසුගිය කාලයේ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන්ව බොහොම බලෙන් ගෙන්වා ගන්නයි අපට සිදුවුණේ. ඒත් අද ඉන්න සමහර ප්‍රේක්ෂකයන් හතර, පස් සැරය නරඹන්නට පෙලඹිලා තිබෙනවා. ඒ බව මා දන්නේ පසුගිය දවසක නිවෙසක තිබුණු දාන කටයුත්තක් සඳහා සහභාගි වීමට ලැබුණු අවස්ථාවේදියි. ඔහු පැවසුවේ මේ වනවිටත් හතර සැරයක් නැරැඹුව මේ චිත්‍රපට මා හෙටත් නරඹන බවයි. ඒ විතරක් නොවෙයි ඔහු කරන අනෙක් කාර්යය නම් ඒ චිත්‍රපට නරඹා ඔහු අවට සිටින අයටත් ඒ චිත්‍රපට නරඹන්නට කරන පෙලඹවීමයි. මෙවැනි දේ සිදුවීම සිනමාවේ සාධණීය පෙර නිමිත්තක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා මේ සිනමාපටවලින් සිනමාවට සිදුවුණේ සේවයක්. නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට අද්දා ගැනීමට ඉඳලා හිටලා හරි එවැනි චිත්‍රපට පැමිණීම වඩාත් හොඳ බවයි මා සිතන්නේ. මා සිටින වයසත් එක්ක වගේ ම ගත කළ කාලයත් එක්ක එවැනි නිර්මාණවලට දායක වීමට ලැබීමත් වාසනාවක් විදියටයි මා සලකන්නේ.

l පසුගිය කාලයේ අපේ බොහෝ දෙනා සිනමාව ගැන බොහොම සෘනාත්මකවයි කතා කළේ. මෙවැනි නිර්මාණ හරහා ඒ අදහස තරමක් වෙනසකට ලක්වෙනවා?

අදටත් එහෙම තමයි. උන් හිටි ගමන් මේ වගේ නිර්මාණ කිහිපයක් ඇවිත් ඒ මතය බිඳලා යනවා. ඒක සාමාන්‍යයෙන් සිදුවෙමින් පවතිනවා. එනවා, වැටෙනවා, ආයෙමත් නැඟිටිනවා වගේ ක්‍රමවේදයකුයි පවතින්නේ.

l චිත්‍රපට දෙකේ චරිතවලට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ කතාව ඉන්දියාවේ බිහිවුණු කතා වස්තුවක්. දමිළ චිත්‍රපටයේ රඟපාන්නේ කමල්හසන් ඇතුළු නළු නිළි පිරිසක්. අපේ චිත්‍රපටයත් කරන්නේ දමිළ අධ්‍යක්ෂවරයකු නිසා, සමහර විට ඒ චරිතවලට ගැළපෙන චරිත මේ රටෙත් සොයන්න ඇති බවයි මට සිතෙන්නේ. මම සිතන්නේ ඒ චරිත ලක්ෂණවලට යන ලක්ෂණ මගේ තිබෙන නිසා වෙන්න ඇති ඔවුන් මේ චරිතයට මාව තෝරා ගනු ලැබුවේ. ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන රොහාන් පෙරේරා ඒ චරිතය ගැන කාලයක පටන් මා සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් පසුවයි ෂෙහාන්ගේ මවගේ චරිතය නිර්මාණය වන්නේ. එහි පිටපත බොහොම පොඩියි. නිර්මාණයක් කියන්නේ ඒකයි. ලියලා තියෙන එකම කියවන එක නොවෙයි. ලියලා තියෙන දේ ප්‍රතිනිර්මාණය වන්නේ කොහොමද කියන කාරණයයි එහිදි වැදගත් වන්නේ. ඔහුට ඒ දක්ෂතාව තිබුණා.

l ‘ධර්ම යුද්ධය’ හා ‘හීන සොයන සමනල්ලු’ චිත්‍රපටවල ඔබට රඟපෑමට සිදුවන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන ජැක්සන් ඇන්තනී හා සෞම්‍ය ලියනගේ සමඟින්. ඔවුන් දෙදෙනාගෙන් ඔබට ලැබුණු සහයෝගය මොන වගේද?

ජැක්සන් අයියා වගේ නළුවකුගේ රඟපෑම මා දකින්නේ චිත්‍රපටයේ වාසනාවක් විදියටයි. එවැනි පරාසයක් දක්වා ගමන් කළ හැකි නළුවකු ඒ චිත්‍රපටයේ සිටිය යුතුයි. එවැනි ශක්තිමත් පුරුෂයකු කතාවේ සිටිය යුතුයි. එහිදි තාත්තා කියන කෙනා ප්‍රබලව පෙනිය යුතු චරිතයක්. අප්පච්චී කියන නාමයට ජැක්සන් අයියාව හොඳට ම ගැළපෙන කෙනෙක්. චිත්‍රපටය රූගත කිරීම් කරන කාලයේ ජැක්සන් අයියා අපි තුන්දෙනාටම සැලකුවේ හරියට දරුවන් තුන්දෙනෙකුට වගේ. ඔහු අපි කියන කියන දේ අරගෙන දුන්නා. මෙහි රඟපෑමට පෙර මා ජැක්සන් අයියාත් සමඟ රඟපාලා තිබෙනවා. තිසුරිවත් දන්නවා. බලා දියණිය ලෙස රඟපෑ දියණියව මට දකින්නට ලැබුණේ රූගත කිරීම්වලදිමයි. නවාතැනට ගියාට පස්සෙත් අපි හතරදෙනාගේ කාමර තිබුණේ එක පේළියටමයි. ඒ බැල්කනියේ කෑම ගන්න තිබුණෙත් එකටමයි. මම පාන්දරම නැඟිටලා කම්මැලි සිතුණට පස්සේ හැමෝගෙම කාමරවලට ගහගෙන ගහගෙන යනවා. ළමයි ඉතිං මට බැණ බැණයි ඉළියට එන්නේ. ජැක්සන් අයියාට අපේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒ අතර කෑමබීම ප්‍රශ්න එහෙම. එහෙම බොහොම සුන්දර වටපිටාවකුයි නිර්මාණය වී තිබුණේ. ඒ සියලු කාරණා මගේ චරිතය ප්‍රතිනිර්මාණයේදී බලපෑවා. ඒ වගේ ම සෞම්‍ය මට මුණ ගැසෙන්නේ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයේදියි. ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉටුකිරීමට ඒ චිත්‍රපටයේදීත් සෞම්‍ය මට උදවු වුණා. සෞම්‍යගේ පෞරුෂය ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයටත් බොහොම වටිනවා. ඒ නිසා මට වඩා හොඳ නළු නිළියන් සමඟ රඟපෑමට ලැබීම මා සලකන්නේ භාග්‍යයක් විදියටයි. ඒ කියන්නේ අපට දියුණු වෙන්න, ප්‍රතික්‍රියා දක්වන්න හැකියාව ලැබෙන්නේ තවත් කෙනෙකු එහා පැත්තේ විරුද්ධව සිටියොත් පමණයි. එහෙම නොවුණොත් තරමක් අපහසු වෙනවා. ඒ නිසා සෞම්‍ය සමඟ රඟපෑමට ලැබීම සතුටක්. සෞම්‍ය වැනි නළුවකු සමඟ රඟපෑමට මා බොහොම කැමැතියි. අප දෙදෙනා එකිනෙකාට දක්වන ආදරය ගෞරවය මේ චරිතය රඟපෑමේදී බලපෑවා. අප දෙදෙනා රඟපෑම් කටයුතු කිරීමේදී සිටියේ එකටමයි. අපි දෙන්නා හොරෙන් බුලත් විට කෑවා. හොරෙන් දත් මැද්දා. ඒ වගේ බොහොම සැහැල්ලුවෙනුයි අප චරිතවලට මුහුණ දුන්නේ. ඒ නිසා මගේ චරිතය රඟපෑමට ඔවුන් දෙදෙනාගෙන‍් ලැබුණු සහයෝගය අප්‍රමාණයි.

l ඔබ ඔය පවසන්නේ රංගන ශිල්පිනියකට චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමේදී ඈ වටා සිටින රංගන ශිල්පීන්ගෙන්, ශිල්පිනියන්ගෙන් ලැබෙන සහයෝගය, ඉන් සැලසෙන සැහැල්ල බව වඩා වැදගත් බවද?

ඇත්තටම තිබෙන එකමුතුකම, ඔවුන් ක්‍රියා කරන ආකාරය යන වටපිටාව ඒ චරිතවලට හරියට බලපානවා. ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේදී මගේ චරිතය රඟපෑමේදී ඒ සඳහා මා දැඩි ආයාසයක් ගත්තේ නැහැ. මා සාමාන්‍යයෙන් ඉන්න විදියට ටිකක් ඉහළ තලයකට ගිහින්, අධ්‍යක්ෂවරයාගේ උපදෙස් සමඟ මා මගේ චරිතය ප්‍රතිනිර්මාණය කළා. එය මට බාරදුර කාර්යයක් වුණේ නැහැ. ඒ වගේමයි ජැක්සන් අයියා, සෞම්‍ය වැනි දැවැන්ත චරිත හිටියත් රංගනයේදි මට බියක් දැනෙන්නේ නැහැ. නිතරම මා බලන්නේ ඒ චරිතවල රංගනයත් සමඟ පෑහෙන්නේ කොහොමද යන්නයි. මේ චිත්‍රපටයේ සිටින අම්මා මට දැනෙන්නේ කොහොමද යන්නයි මට වැදගත් වන්නේ. ඒ චරිතයට මේ පවුල ඇතුළේ එකිනෙකාගේ සහයෝගීතාවයි බලපාන්නේ.

l ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය දමිළ භාෂාව ඇතුළු භාෂා රැසකට ම නැගුණු චිත්‍රපටයක්. මීට පෙර ඒ චිත්‍රපටය නැරැඹීම ඔබට ලැබෙනවා?

මම සාමාන්‍යයෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. ඒත් මට චිත්‍රපටයට කතා කිරීමට පෙර දන්නේ නැතිව ‘පාපනාසම්’ දමිළ චිත්‍රපටය නැරැඹුවා. ඒ කතාවට මමත් බොහොම ආසා වුණා. ඒ වගේ ම මට රඟපෑමට කතා කළේ ඒ චිත්‍රපටයට බව මා දැනගෙන සිටියේ නැහැ. ප්‍රතිපත්තියක් විදියට මා එවැනි නිර්මාණයක් කරනවා නම් පෙර නිර්මාණය නරඹන්නේ නැහැ. ඒ චරිත ඔළුවට එනවාට මා කැමැති නැහැ. මට වුවමනා වෙන්නේ ඒ චරිතයට මගෙන් දෙයක් ගන්නයි. දමිළ අධ්‍යක්ෂවරයාට රූගත කිරීම් කරන ස්ථානයේදිත් ඒ චිත්‍රපටය අප ලවා නැරැඹවීමට බොහෝ වුවමනා වී තිබුණා. එවිට මා පැවසුවේ මා අනුකරණයට අකැමැති බවයි. ඒත් කලින් ඒ චිත්‍රපටය මා නරඹාල තිබුණා. එහෙම හරි කලින් ඒ චිත්‍රපටය නරඹලා නොතිබුණා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ.

l ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාවත්, ‘හීන සොයන සමනල්ලු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාවත් ඔබ දකින්නේ කුමන ආකාරයෙන්ද?

ඔවුන් දෙදෙනා අධ්‍යක්ෂවරු දෙදෙනෙක්. දමිළ අධ්‍යක්ෂවරයකු යටතේ මා රඟපාන්නේ පළමු වරටයි. වෙනසකට මට තිබුණේ ඔහු තරමක් ශබ්දයි. ඔවුන්ගේ භාෂාවත් ටිකක් ශබ්දයි. ඔහු සෙට් එකේදී හැසිරෙන ආකාරය කලබලයි. අනෙක් වැඩ කරන අයට වුණත් ඔහු හයියෙන්මයි යමක් කියනවා නම් කියන්නේ. හඬවල් දෙකේ වෙනසත්, භාෂා දෙකේ වෙනසත් තිබුණා. නැත්නම් අප හැමෝම එකයි. ‘හීන සොයන සමනල්ලු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් බොහොම හොඳයි. දරුවන් සමඟ හැසිරුණු ආකාරය, අපව ගොඩනැඟුව ආකාරය ගැන ඔහු පිළිබඳ අපේ සිතේ තිබෙන්නේ පැහැදීමක්. අලුත් අධ්‍යක්ෂවරයකු වුණත් ඔහුට මිනිස්සු සමඟ ලස්සනට ජීවිත්වීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඔහු සාර්ථක බවයි මා සිතන්නේ. ඒ වගේ ම අපට සැහැල්ලුවෙන් යුතුව කටයුතු කිරීමේ ඉඩකඩ අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම සලසලා තිබුණා. අපව බොහොම වෙහෙසට පත්කරමින් වැඩ ගත්තේ නැහැ. ඒ සැහැල්ලුවත් අපගේ චරිතවල සාර්ථකත්වයට බලපෑවා. ඒ වගේ ම ඔහු අනෙක් ශිල්පීන්ට ඇහුම්කන් දෙන අධ්‍යක්ෂවරයකු බවත් කිව යුතුයි.

l චිත්‍රපට දෙකේදී මව්වරුන් දෙදෙනා මුහුණ දෙන්නේ වෙනස් ම සිදුවීම් පෙළකටයි. වෙනස් වූ මව්වරුන්ගේ චරිත අතරින් වඩාත් හිතට දැනෙන චරිතය දරුවකු මියයෑම නිසා හදවත කම්පා කරන චරිතය බවයි පෙනෙන්නේ?

කොහොමත් කතන්දර දෙකක්. චිත්‍රපට දෙකක්. වටපිටා දෙකක්. ඒ නිසා චරිත දෙක දෙයාකාරයි. ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ අම්මා ඇවිදින එක වැඩියි. දරුවකු අහිමිවීමට මුහුණ දෙන එක භයානකයි. දරුවකු දූෂණයට ලක්වනවාට වඩා මැරෙනවා කියන සිතුවිල්ල විද දරා ගැනීම බොහොම අපහසුයි. පවුලක එක දරුවකුට එවැනි ඛේදවාචකයක් වුණා ට පස්සේ ඒක වෙනස්ම හැඟීමක් බවට පත්වෙනවා. ඈ වෙනත් අම්මලා වගේ නොවයි. කෑ ගහලා අඬන චරිතයකුත් නොවෙයි. ඒ වේදනාව දරා ගනිමින් සිත පතුළේයි ඈ දුක හංගා ගෙන ඉන්නේ. අනෙක් කාරණය නම් කාගෙද දරුවා කියන එක නොවෙයි ඈට වැදගත් වන්නේ. දරුවා දරුවකු පමණක් බවයි ඈ සිතන්නේ. අවසානයේ ඒ අම්මා සෑම දරුවකුටම එක හා සමාන වෙනවා. ඒ නිසා මේ චරිතය ඇත්ත ඉස්මතු වන චරිතයක්. ඒක මට දැනුණු චරිතයක්. ඒ වගේම රඟපෑමේදී චරිතයක රිද්මය පවත්වා ගැනීමත් බොහොම වැදගත්. ඒ නිසා මා නිකම්ම එහාට මෙහාට ගියා නම් ඒ චරිතයේ තිබෙන රිද්මය කැඩෙනවා. එක දිගටම එහි රූගත කිරීම් තිබුණා. මා ඒ ළමයින් සමඟ කතාවත් සමඟ සෑහෙන කාලයක් සිටියා. මේ සියලු දේත් එක්ක මා දැනීමකින් යුතුවයි ඒ චරිතය රඟපෑවේ. අනෙක් චිත්‍රපටයේ අම්මාගේ චරිතයත් ඊට දෙවැනි නැහැ.

l ඔබ අම්මාගේ චරිතය රඟපෑවත් තවමත් බොහොම සුන්දර රුවකට හිමිකම් කියන සොඳුරු රංගන ශිල්පිනියක්. ඒ සොඳුරු බවේ රහස කියමුද?

මම දැන් වයසයි. මගේ පුතාටම වයස විසි දෙකක්. ඒ වුණත් මම එහෙම තරුණ විදියට ඉන්න සිතාගෙන රූපය හදන්න උත්සාහ කරන කෙනෙකු නොවෙයි. සරලවයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මා සිතන විදියක් තරමක් වෙනස්. ඒ වගේ ම යම් ප්‍රතිපත්ති මාලාවක් අනුවයි මා කටයුතු කරන්නේ. නිතරම උත්සවවලට යන්න මා කැමැති නැහැ. ඒ නිසා මට මා වෙනුවෙන් කාලය ඕනෑතරම් තිබෙනවා. සොඳුරු බව මතක් කළ විටයි මේ කාරණය මගේ මතකයට පිවිසුණේ. මේ වනවිට රොහාන්ගේ වෙනත් චිත්‍රපටයක් සඳහා මට ලබන වසරේ අගෝස්තු මාසයේ දින දීලත් තිබෙනවා. එකම දෙය නම් ඔහු මට පවසන්නේ වසර විසි ගණනක තරුණ වයසකට පිවිසෙන්න කියලයි. ඒ ගැටලුවෙයි මා ඉන්නේ. ඒ ගැන මා ඉන්නේ දෙගිඩියාවෙන්. ඒත් ඒ සඳහා මා උත්සාහ කරලා බලනවා.

l යසපාලිත නානායක්කාරගේ ‘දේදුන්නෙන් සමනලියක්’ චිත්‍රපටයෙන් සිනමා ප්‍රේක්ෂකයා වෙතට පිවිසෙන ඔබ එකල වාණිජ සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. වාණිජ සිනමාවේ සිට සිය දක්ෂතා දක්වමින් අද ඔබ කලාත්මක සිනමාවේ යම් ස්ථානයකට පැමිණිලයි සිටින්නේ?

මුල් කාලයේ මට එවැනි නිර්මාණ ලැබුණේ නැහැ. කවුරුත් සිතුවෙත් නැහැ මා පසුකාලීනව මේ විදියට වෙනස් කෙනෙකු වේවි කියලා. ඒ කාලයේ කිසිවෙකුත් මා කෙරෙහි ඒ විශ්වාසය තැබුවේ නැහැ. ඒ කාලයේ වන විට ඒ කාරණය නිවැරැදියි. මා මේ තිබෙන රංගන මට්ටමක් එදා සිටියේ නැහැ.

කෙළිලෝල, දඟකාර චරිත රඟපාමිනුයි මා මේ ගමන පැමිණියේ. ඒ කාලයේ මට අද වගේ චරිත රඟපාවි යැයි කියලා සිතුණෙත් නැහැ. ඊට පසුව කාගෙ ළඟ වැඩ කරන්නට වේවිද? එතැනදි මෙහෙම කරනවා කියලත් සිතලා නැහැ. මට නිතරම සිතෙන්නේ ජීවිතේ කියන්නේ ඊළඟ මොහොතේ කුමක් වේවිද කියලා සිතන්න නොහැකි බවයි. මා ඉදිරි වසර දහයකට සැලසුම් කරන්නේ නැහැ. එන විදියට ජීවිතයට මා මුහුණ දෙනවා.තමන් සිතන විදියත් සමඟයි මිනිස්සු වෙනස් වන්නේ කියලයි මට සිතෙන්නේ. මට සිතෙන්නේ එදාට වඩා වෙනස් වූ රස වින්ඳනයක් මට තිබෙන බවයි. මා සිතන විදිය වෙනස් කළේ නැත්නම් පසු කාලයේ මා රඟපෑ චරිත රඟපෑමට කිසි දවසක ලැබෙන එකක් නැහැ. වෙනස් වීමට නම් අප සිතන විදිය වෙනස් විය යුතුයි.

තිලානි ශානිකා විතානාච්චි

නව අදහස දක්වන්න