ලෝකය හමුවේ අපේ රට | දිනමිණ

ලෝකය හමුවේ අපේ රට

 රුසියාව, චීනය, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව යන රටවල නායකයෝ පසුගිය සතියේ චීනයේදී මුහුණට මුහුණ හමුවූහ. ඒ බ්‍රික්ස් රාජ්‍ය හවු‍ෙල් 9 වන වාර්ෂික සමුළුවේදීය.

මෙම රටවල් පහේ ආර්ථික ශක්තිය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 16 කි. ලෝක ජනගහනයෙන් 43% ක් වෙසෙන්නේ එම රටවල් පහෙන් ආවරණය වන භූමි පරාසය ඇතුළතය. එකී සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවද සිය පොහොසත් රටක් 2025 ආර්ථික දැක්ම ජනතාව හමුවේ තැබීය. බ්‍රික්ස් රාජ්‍ය හවුල විසින් ඉදිරිපත් කරන ලද 2030 ආර්ථික දැක්ම තුළින් 2030 වසර වනවිට ලෝක ආර්ථිකයේ හැඩරුව සකස්වන අන්දම විදහා දැක්වේ.

පැහැදිලි අනාගතයකට ශක්තිමත් දායකත්වය යන්න බ්‍රික් රටවල අනාගත ආර්ථික දැක්මේ තේමා පාඨයය. ‘සබ්කා සාත් සබ්කා විකාශ්’ හෙවත් සැමගේ දියුණුවට සැමගේ එකමුතුකම ඉන්දියාවේ අනාගත ආර්ථික සටන් පාඨයයි. 2025 පොහොසත් රටක් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික තේමාවයි. ලෝකයම දැන් නව දැක්මකට පෙළ ගැසේ.

සාක් ආයෝජන හමුව

“බ්‍රික්ස් රටවල් පවසන අන්දමට අනාගත කාර්මික විප්ලවය ජයගත යුතුව තිබේ. ඒ සඳහා බෙදීම් නොව එකමුතුකම අවශ්‍ය වේ. ආර්ථික සමෘද්ධියට මඟ අන්‍යෝන්‍ය සබඳතාවය. ආරක්ෂණවාදයට ඉදිරි ලෝ‍කයේ තැනක් නැත. එසේම ගැටුම්වලින් විසඳා ගත හැකි දෙයක්ද නැත. තරගකාරිත්වයට ඉඩ දෙමු. සංවර්ධනය වන රටවලට අතහිත දෙමු” මේ බ්‍රික්ස් රටවල නව ආර්ථික හෝඩි පොතයි.

සාක් කලාපීය රටවල ආයෝජක හමුව ගිය සතියේ කොළඹ දී පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේද ඉහත කී අදහස්මය. එසේම ශ්‍රී ලංකාවේ ආයෝජනය ආකර්ෂණය කර ගැනීම සඳහා වන රජයේ උපාය මාර්ගද ශ්‍රී ලංකා අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදි.

බෙදීම් වෙනුවට එකමුතු වීම යන උපාය මාර්ගය සාර්ථක කරමින් ශ්‍රී ලංකාව යළි ජී.එස්.පී. ප්ලස් සහනය දිනා ගන්නා ලදී. ජී.එස්.පී. සහනය නිසා දැන් ධීවර කර්මාන්තය විදේශ ආදායම් ආකර්ෂණය වැඩි කර ගනිමින් තිබේ.

ධීවර කර්මාන්තයේ ආයෝජන පුළුල් කිරීමත් මුහුදු මත්ස්‍ය තොග තක්සේරුව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමත්, ආණ්ඩුවේ ඉලක්කයෝය. එසේම වරාය සංවර්ධනය පුළුල් මත්ස්‍ය කලාප ඇතිකිරීම, මත්ස්‍ය කර්මාන්තය සඳහා පෞද්ගලික සහාය ලබා ගැනීම, ගැඹූරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා පනවා ඇති සියයට 40ක විදේශ ආයෝජන සීමාව ලිහිල් කිරීම සහ උතුරේ ධීවර වරායයන් පිහිටුවීමද ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර කීපයකි.

වාර්ෂික අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 20 දක්වා වැඩි කිරීම ඉලක්කය නම් ධීවර මත්ස්‍ය කර්මාන්තයෙන් උපරිම පල ප්‍රයෝජන ලබාගෙන විදේශ ඉපැයීම් වැඩි කළ යුතු වේ. ජී.එස්.පී. සහනය අත්කර ගැනීම සඳහා අවශ්‍ය නිර්නායක ද මේ වනවිට සම්පූර්ණ කිරීම නිසා දැනටමත් ධීවර කර්මාන්තය ආම්පන්න, තාක්ෂණය හා උපකරණ ඇතුළු භෞතික සම්පත් මඟින් ඉහළ තත්ත්වයකට ළඟා වී තිබේ.

එසේම ධීවරයාගේ සමාජමය ගැටලු රාශියක් සඳහා ද පිළියම් සපයාදී තිබේ. ඉතිරිව ඇති එක් ප්‍රශ්නයක් නම් දකුණු ඉන්දියානු ධීවරයන්ගේ හොරෙන් මාළු ඇල්ලීමයි.

සාමකාමී අන්දමින් මේ ගැටලුව විසඳා ගැනීම ඉන්දියා - ශ්‍රී ලංකා දෙරටේම ප්‍රයත්නයයි. බ්‍රික්ස් සමුළුවද ඉකුත්දා අනුමත කළේ ගැටුම් වළක්වා ගැනීමේ පිළිවෙතයි.

පසුගිය අප්‍රේල් අග ශ්‍රී ලංකා ඉන්දියා අගමැතිවරු දෙරට අතර හටගෙන ඇති ධීවර ගැටලුව විසඳා ගැනීම සඳහා සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන 5ක් අහිමිකරන මේ ධීවර කොල්ලය නිසා මන්නාරම - මුලතිව් අවට ධීවරයනට ආදායම් අහිමි වේ. එසේම මත්ස්‍ය අභිජනන සමයේ ඉන්දියානු ධීවර ආක්‍රමණය නිසා මන්නාරම සහ පෝක් සමුද්‍ර සන්ධිය අවට මත්ස්‍ය සම්පත වැනසෙන බවද ශ්‍රී ලංකාවේ නෝක්කාඩුවයි.

ධීවර ප්‍රශ්නයට විසැඳුම්

මේ ප්‍රශ්නය විසඳාලීම සඳහා ඉන්දියාවද දැන් ශ්‍රී ලංකාවට උදව් කරන තත්ත්වයක සිටී. ඉන්දියානු ධීවරයනගේ අවධානය ශ්‍රී ලංකාවට අයත් මුහුදුකරයෙන් ඉවත්කිරීම ඉන්දියාවේ උපක්‍රමයයි. මුක්කයියාර් සහ පුම්පුහාර් යන වෙරළ ආශ්‍රිතව අමෙරිකා ඩොලර් දස ලක්ෂ 40ක වියදමින් ධීවර වරායයන් දෙකක් ඉදිකිරීම ඉන්දියාවේ සැලැස්මයි. දැන් එහි වැඩ ඇරැඹී තිබේ. එසේම පෝක් සමුද්‍ර සන්ධියට නුදුරු දිස්ත්‍රික්කවල ධීවර බෝට්ටු ලියා පදිංචිය අඩුකිරීමත්, ධීවරයන්ට විකල්ප ආදායම් මාර්ග සලසා දීමත්, තවත් පියවරකි.

බ්‍රික්ස් රාජ්‍ය හවුලේ තවත් සාමාජික රටක් වන චීනය විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික කටයුතු සඳහා මැදිහත් වෙයි. චීනයේ උපායමාර්ගය ආසියාව, අප්‍රිකාව ඔස්සේ මැදපෙරදිග දක්වා ආර්ථික කොරිඩෝරයක් සකස් කර ආයෝජන මඟින් කුඩා රටවල් සිය මිටට ගොනුකර ගැනීම යැයි චෝදනාවක් නඟන්නෝ වෙති. මේ චෝදනාව චීනය තරයේම ප්‍රතික්ෂේප කරයි. තරගකාරී වෙළෙඳ පොළ කෙරෙහි විශ්වාසය තබන චීනය ඉතා විශාල ලෙස අමෙරිකානු මූල්‍ය වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමට පෙළඹී තිබේ. බැඳුම්කරවල මෙන්ම පෞද්ගලික අංශයේද චීනය ආයෝජන කර ඇත.

චීන ආයෝජන

අමෙරිකාවේ ආර්ථිකයට චීනයෙන් ලැබී ඇති සෘජු විදේශ ආයෝජනය 2015 දී ඇ.ඩොලර් බිලියන 15.7 කි. එය 2014 ට සාපේක්ෂව සියයට 40ක වැඩිවීමකි. 2010 සිට 2015 දක්වා කාලය තුළ ඇ.ඩොලර් බිලියන 93ක් චීනය විසින් අමෙරිකාවේ ආයෝජනය කර ඇත්තේ ඉදිකිරීම් හා දේපොළ ක්ෂේත්‍රයේය. ලෝක ආර්ථිකයේ චීන අමෙරිකා ආර්ථික සන්ධානයේ ඉතා සුළු පැතිකඩකි මේ.

කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය ඩොලර් බිලියන 1.4 ක දැවැන්ත ව්‍යාපෘතියකි. 2016 දෙසැම්බරයේ ග්ලෝබල් රිලේෂන් මාධ්‍ය ප්‍රකාශ කෙළේ ඇ.ඩොලර් බිලියන 15ක ආයෝජනයක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු කර ඇති බවයි.

චීන රාජ්‍ය අංශය මෙන්ම හොංකොං ඔස්සේ පෞද්ගලික ආයෝජන ශ්‍රී ලංකාව කරා යොමුවන බවටද ඉහත කී මාධ්‍ය අනාවැකි පළ කරයි. හොංකොං ආයෝජන පෞද්ගලික අංශය ඉදිරියේදී ඩොලර් දස ලක්ෂ 250ක සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද, ROBART KUOK නම් හොංකොං ආයෝජකයා ඇ.ඩොලර් දස ලක්ෂ 16ක තරු පහේ හෝටලයක්ද, හච්සන් සමාගමය ඇ.ඩොලර් දස ලක්ෂ 20ක ආයෝජනද ශ්‍රී ලංකාව තුළට එකතු කරන බවද එම වාර්තාව කියයි.

ශ්‍රී ලංකාව චීනයෙන් ඇ.ඩොලර් දස ලක්ෂ 438ක ණය ආධාර සහ ඉන්දියාවෙන් ඇ.ඩොලර් දස ලක්ෂ 414ක ණය ආධාරද ලබාගන්නා ගිවිසුම්වලට එළඹ ඇතැයි ග්ලෝබල් රිලේෂන් විවරණ වාර්තාව පවසා තිබේ.

කලාපීය ආර්ථික බලතුලනය ඇති කරමින් බ්‍රික් හවුලේ අසල්වැසි ප්‍රබල රාජ්‍ය දෙක සමගම ශ්‍රී ලංකාව ආර්ථික හා වාණිජ තර කර ගනිමින් සිටින අතර තවත් රටක් වන රුසියාව සමඟ දීර්ඝ කාලීන ආර්ථික සබඳතා පවත්වයි.

බ්‍රික් සමුළුවේදී රුසියානු නායකයා ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තිවලට එරෙහිව කතා කළේය. එසේම සංවර්ධනය වන රටවලට නැගී සිටීමට සහාය දීමටද ප්‍රතිඥා දුන්නේය.

රුසියාව වසර 60ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා පවත්වන අතර ප්‍රථම ගිවිසුම් අත්සන් කෙළේ 1958 දීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු බවට පත්ව ඇති රුසියාව ඉදිරි කාලය තුළ සිය මිලදී ගැනී‍ම් වැඩි කරනු ඇත. දැනට රුසියා තේ වෙළෙඳ පොළේ සියයට 30ක් අයිති කරගෙන සිටින ශ්‍රී ලංකාව ඉදිරියේදී ඒ ප්‍රමාණය වැඩි කිරීමට සැලසුම් කරයි.

මෑතක සිට රුසියානු සංචාරක පැමිණීම ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට සවියක්ව තිබේ. 2015 සිට ශ්‍රී ලංකා රුසියා වාණිජ කටයුතු පසුබෑමට ලක්වූ රුබලයේ වටිනාකම ඉහළ පහළ යෑම සහ රුසියා ආර්ථිකයේ පසුබෑම නිසාය දැන් ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස් වෙමින් තිබේ.

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන සෙසු බ්‍රික්ස් රාජ්‍යය අතර වෙළෙඳ කටයුතු එතරම් දියුණු මට්ටමක නැතත්, දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව ඔස්සේ ඉන්දියාවට සිය නිෂ්පාදන හඳුන්වාදීමේ පිළිවෙතකට සිය කැමැත්ත පළ කළාය.

බ්‍රසීල ශ්‍රී ලංකා වෙළෙඳ ගනුදෙනුවල යම් පසුබෑමක් මෑතකදී සිදුවූයේ විවිධ මත්කුඩු ප්‍රවාහන කටයුතුවලට බ්‍රසීලයේ සමාගම් සම්බන්ධවීමයි.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළ පොහොසත් රටක් ආර්ථික වැඩසටහනේ එක් අංගයක් වන්නේ තම නිෂ්පාදන හා නව වෙළෙඳ පොළ සොයා ගැනීම්ය.

බ්‍රසීලය ඇඟලුම්, අත්වැසුම්, රබර් නිෂ්පාදන, පොල් නිෂ්පාදන, කුළුබඩු, තේ, පෝසිලේන් ආදී භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් මිලට ගත් අතර 2014 – 2010 කාලය තුළ ආදායම වසරින් වසර වැඩි කරගෙන තිබේ.

එහෙත් වෙළෙඳ වාසිය හිමිව තිබෙන්නේ බ්‍රසීලයටය.

නිදහස් වෙළෙඳ ගිවිසුම්

 

බ්‍රික්ස් රාජ්‍ය හවුල, යුරෝපා සංගමය මෙන්ම සාර්ක් රාජ්‍ය හවුල සමඟද ශ්‍රී ලංකාව සිය ආර්ථික සහයෝගිතාව පුළුල් කරගැනීමට කටයුතු කරයි.

සාර්ක් රටවල ආයෝජකයන්, මූල්‍ය කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 250ක් පමණ පිරිසක් කොළඹ දී ඉකුත් 06 වනදා පවත්වන ලද ආයෝජක හමුවට එක්වූ බව වාර්තා වේ.

වාණිජ මණ්ඩල රාශියක අනුග්‍රහයෙන් පැවති සාකච්ඡාවේදී කතා කළ ශ්‍රී ලංකා අගමැතිවරයා කලාපයේ ව්‍යාපාරික කටයුතු නැංවීම සඳහා සුදුසුම වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බවත්, ඉදිරියේදී ආයෝජකයනට තව තවත් පහසුකම් සපයන බවත් කියා සිටියේය.

පැරැණි සාම්ප්‍රදායික අපනයන නිෂ්පාදනයෙන් පමණක් සෑහීමට පත්නොවී තමන්ම ඉසව් කර පියනැගීමත් තම නිෂ්පාදන ඉදිරිපත් කරමින් කලාපීය රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමත්, ශ්‍රී ලංකාවේ අභිලාෂය යැයි මලික් සමරවික්‍රම ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කෙළේය. පැමිණි ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ බව දන්වා තිබේ. රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම්ගතවීම් රටේ ආර්ථික සංවර්ධනයට හේතුවන බැවින් ඒ සඳහා උත්සුක වන බව ආණ්ඩුව ප්‍රකාශ කරයි.

බංගලිදේශ වෙළෙඳ ඇමැති කටාෆෝල් අහමඩ් මහතා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා - බංගලිදේශ නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා තම රටේ කැමැත්ත පළ කළේය. එසේම බංගලිදේශ වාණිජ දූත පිරිසක් නුදුරු කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවන බවද දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාවට ඉතා අඩු මිලට ඖෂධ නිෂ්පාදන එරටින් මිලදී ගත හැකි බවද ඔහු කීය.

සාර්ක් රටවල් අතර වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමේ ඇති වැදගත්කම ෆ්‍රෙඩ්‍රික් නිම්මාන් පදනමේ කලාපීය අධ්‍යක්ෂවරයා පසුගිය සාර්ක් ආයෝජන රැස්වීමේදී අවධාරණය කෙ‍ෙළ්ය.

කලාපීය රටවල් අතර පවතින සුළු ගැටුම් ව්‍යාපාරික කටයුතුවලදී අමතක කළ යුතු යැයිද එම රැස්වීමේදී කියැවිණි. 2002 දී චීනය හා තායිවානය අතර ගුවන් ගමන් හතක් සතියකට ක්‍රියාත්මක වූවද, අද වනවිට දෙරට අතර සතියකට ගුවන් ගමන් වාර 90ක් ක්‍රියාත්මක වන බවද දෙරට අතර ව්‍යාපාරික සබඳතා දේශපාලන විරසකකම් අභිභවා ඉදිරියට පැමිණීම කලාපීය රටවලට ආදර්ශය කැයිද අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

කරුණාරත්න අමරතුංග 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...