යතුරු පැදියෙන් සුසාන භූමියට | දිනමිණ

යතුරු පැදියෙන් සුසාන භූමියට

රට පුරා මාර්ගවල ධාවනය වන යතුරු පැදි ප්‍රමාණය නිශ්චිත වශයෙන් ම ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් තව ම නැත. එහෙත් මහා මාර්ගයට දිනෙන් -දින අලුතෙන් යතුරු පැදි ප්‍රවේශ වන බවත්; ඒ තරමට ම අනතුරු වැඩි වී ඇති බවත් කියන්නට පුළුවන. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්තාවකට අනුව මේ වසරේ ජනවාරි සිට ජූලි 31 දක්වා කාලය තුළ පමණක් යතුරු පැදි අනතුරු හත්සිය තිස්නවයක් සිදු වී ඇත. එම අනතුරුවලින් මරණ හත්සිය හැටහයක් සිදු වී ඇත. මෙය තරමක් භයානක කතාවකි. මාස හතක දී යතුරු පැදි අනතුරු නිසා හත්සිය ගණනක් මිය යන බව එහි යථාර්ථය යි.

වියට්නාමය ලොව වැඩියෙන් ම යතුරු පැදි භාවිත කරන රාජ්‍යයකි. එරට මහා මාර්ග තදබදයට එක් හේතුවක් ලෙස ද යතුරු පැදිය හැඳින්වේ. හේතුව සෑම මහා මාර්ගයක ම යතුරු පැදි විශාල ප්‍රමාණයක් ධාවනය වීමය. එරට මාර්ගයක් දෙස බලන විට යතුරු පැදි තොග වශයෙන් ධාවනය වන බවක් හැ‍ඟෙයි. ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, චීනය වැනි රටවල ද යතුරුපැදි බහුල ලෙස භාවිත වේ. එහෙත් එම රටවල ශ්‍රී ලංකාවේ තරම් යතුරුපැදි අනතුරු සිදුවන්නේ නැත. නිදසුනක් ගතහොත් යතුරු පැදි දෙකක් එකට ගැටීම කලාතුරෙකින් සිදුවන අනතුරකි. එහෙත් යතුරු පැදි එකට ගැටීම අපේ රටේ සාමාන්‍ය දෙයකි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙන අන්දමට යතුරු පැදි අනතුරුවලට හා එම අනතුරුවලින් මරණ සිදුවීමට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබේ. එක; ප්‍රමිතියකින් තොර හෙල්මට් පාවිච්චි කිරීම ය. දෙක; වමෙන් ඉස්සර කිරීම ය. තුන; යතුරු පැදිකරුවන් තෙහෙට්ටුවට පත්වීම හා නිදිමත ඇතිවීම ය. හතර; අධික වේගයෙන් ධාවනය කිරීමයි. යතුරු පැදිවල පවත්නා තාක්ෂණික දෝෂයන් ය. මේ හැරෙන්නට තවත් හේතු කිහිපයක් ද අනතුරුවලට බලපාන බව අපගේ අත්දැකීම ය. ඉන් එකක් වන්නේ බල්ලන් වැනි සතුන් පාරට පැනීම ය. මෙබඳු සිද්ධියක දී යතුරු පැදිය පහසුවෙන් ම අනතුරට ලක් වේ. තවත් හේතුවක් වන්නේ සෙසු වාහනවල රියදුරන් යතුරු පැදි ගැන සැලකිල්ලක් නොදක්වා තමන්ගේ රථය ධාවනය කිරීම ය.

හෙල්මට් හෙවත් හිස් වැසුම් පැලඳීම අනිවාර්ය නීතියක් ලෙස පවතී. එහෙත් බොහෝ දෙනකුගේ උත්සාහය හෙල්මට් නැතිව යතුරු පැදි ධාවනය කිරීම ය. බොහෝ අය හෙල්මටයක් පාවිච්චි කරන්නේ පොලීසියෙන් බේරීමට මිස තමන්ගේ ආරක්ෂාවට නොවේ. හෙල්මට් වෙනුවට තොප්පි පැළඳගෙන යන අයත් සිටිති. හෙල්මටය හැමවිටම ආරක්ෂාකාරී, ප්‍රමිතිගත එකක් විය යුතුය. නීතියට අනුව හෙල්මටය සඳහා ප්‍රමිති සහතිකය තිබිය යුතුය. යතුරුපැදිකරුවන් මේ සම්බන්ධයෙන් කිසිදු සැලැකිල්ලක් දක්වන්නේ නැත. ඔව්හු ඉහත නීතියට පවා විරුද්ධ වී පාරට බැස්සෝ ය. හෙල්මටය පිළිබඳ ගැටලුවට විසැඳුම ඇත්තේ යතුරුපැදිකරුවන් අතර යැයි කියන්නට පුළුවන.

වමෙන් ඉස්සර කිරීම ද තහනම් කර තිබේ. මේ තහනමට ද යතුරුපැදිකරුවන්ගේ විරෝධය එල්ල විය. ඔවුන්ගේ සංගමය මීට අදාළ විරෝධතා දක්වා ඇත. වමෙන් ඉස්සර කිරීම අනතුරුවලට අත වැනීමක් පමණක් නොවන අතර එය වෙනත් වාහනවලට බලවත් හිරිහැරයකි. වමෙන් ඉස්සර කිරීම නිසා යතුරුපැදිකරුවාට සුළු කාලයක් ඉතිරි වෙනවා වන්නට පුළුවන. එහෙත් සමස්ත දුර ප්‍රමාණය හා ගමනාන්තය ගැන බලන විට එය කිසිදු වාසියක් සටහන් කරන දෙයක් නොවේ. යතුරුපැදිය දුප්පතාගේ වාහනයක් ලෙස ද ජීවන ක්‍රියාවලියේ දී විශාල පහසුවක් ඇති කරන සාධකයක් ලෙස ද සැලැකිය හැකි ය. එහෙත් එහි වාසිය ලබා ගැනීමට නම්; ආරක්ෂා සහිත ව යතුරුපැදිය ධාවනය කළ යුතුය.

ශ්‍රී ලංකාවේ රිය ධාවන සංස්කෘතිය තුළ කිසිදු රියැදුරකු අවංක නැත. කිසිදු රියැදුරකු මුළුමනින් ම නීතිගරුක ද නැත. රියැදුරන් ළඟ ආචාරශීලී බවක් ඇත්තේ ම නැත. එය අපේ රියැදුරු සංස්කෘතියේ පොදු ලක්ෂණයකි. යතුරුපැදිකරුවන් කෙරෙහි ද මේවා බලපාන්නට පුළුවන. යතුරුපැදිකරුවන් ළඟ නැති පොදු දුර්වලතා දෙකක් පෙන්වා දිය හැකි ය. ඉන් පළමුවන්න වන්නේ ඉතා වේගයෙන් ධාවනයකොට කාටත් පළමුව ගමනාන්තය සටහන් කිරීම ය. එය මෝඩ අදහසකි. කලින් ගිය තරමට ලෝකයේ සියලු වාසි තමන් වෙත ළඟා වෙන්නේ නැත. මේ බව තේරුම් ගැනීම සඳහා යතුරුපැදි සංගමයට වුව යම් වැඩකොටසක් කළ හැකි ය.

ශ්‍රී ලංකාව යනු කොයි අතින් බැලුව ද රිය අනතුරු අධික රාජ්‍යයෙකි. දිනකට මාරාන්තික රිය අනතුරු දෙකක් හෝ තුනක් හෝ සිදුවන රටක් හැටියට ශ්‍රී ලංකාව නාමකරණය වී ඇත. එයින් පෙනී යන්නේ අපේ රථවාහන නීති - රීති, රියැදුරන්ගේ ආචාරශීලී බව, විනය හා තවත් දේවල් බොහෝ සෙයින් පිරිහී ඇති බව ය. යථාර්ථය ගතහොත් රටේ රියැදුරන්ගේ භාගයකටත් වැඩි පිරිසක් අවිනීත ය. ඔවුන් ළඟ විනයගරුක බවක් නැති වා සේ ම මිනිස් ජීවිතවලට ගරු කිරීමක් ද නැත. පෞද්ගලික බස් රථ රියැදුරන්ගෙන් සමහරු ඊට හොඳ නිදර්ශන වෙති. රටේ වාහන ධාවනයේ ශික්ෂණය බිඳ හෙළූ රියැදුරෝ හතර වර්ගයකට නම් කරති. එක; ටිපර් රියැදුරෝ ය. දෙක පෞද්ගලික බස් රථ රියැදුරෝ ය. තුන; ත්‍රිරෝද රථ රියැදුරෝ ය. හතර; යතුරුපැදි ධාවකයෝ ය.

අද වනවිට යතුරු පැදිය භාවිත කරනු ලබන්නේ පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පිරිස් යැයි හඳුනාගත හැකි ය. මේ අය රටේ රාජ්‍ය සේවාවට, නිෂ්පාදන ක්‍රියාවලියට හා ඍජු සේවා සැපයුම්වලට සම්බන්ධ පුද්ගලයෝ වෙති. එහි අර්ථය වන්නේ රටේ ඉදිරි පැවැත්මට සක්‍රීය දායකත්වයක් මේ අයගෙන් ලැබෙන බව ය. යතුරුපැදියකින් කෙතරම් ප්‍රයෝජන ගත හැකි ද? කෙතරම් ආයෝජනයක් කළ හැකි ද? කෙතරම් සුවපහසුවක් ලද හැකි ද? එබඳු මෙවලමක් ජීවිතයේ විනාශය සඳහා භාවිත කරන්නේ ඇයි? ඒ අපට පිස්සු නිසා ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...