වලව සුපර්ක්‍රොස් 17 දා සෙවණගල දී | දිනමිණ

වලව සුපර්ක්‍රොස් 17 දා සෙවණගල දී

ගීෂා මුණසිංහ
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති හා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග මහතා වෙත කෝස්වේ පේන්ට් ලංකා නියෝජනය කරමින් වී. කිරිදරන් මහතා අනුග්‍රහකත්වය ප්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති ආනන්ද ජයසේකර මහතා හා මධ්‍යස්ථ සේනා විධායක බ්‍රිගේඩියර් සමන් ෆෝන්සේකා මහතා මෙහි වෙති. ඡායාරුපය - රුක්මාල් ගමගේ

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධාන කරන වලව සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය මේ මස 17 වැනිදා ඇඹිලිපිටිය සෙවනණගල දී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව තම සොල්දාදුවන්ගේ සුභසාධන කටයුතු වලට අරමුදල් සපයා ගැනීමේ අරමුණින් 7වැනි වරටත් සංවිධාන කරන තරගාවලිවය මෝටර රථ තරග ඉසව් 12ක් හා යතුරුපැදි තරග ඉසව් 12 කින් සමන්විත වෙයි.

උඩවලව සිට තණමල්විල මාර්ගයේ උඩවලව මංසන්දීයේ සිට 17 වැනි සැතැපුම් කණුවට නුදුරින් සෙවනණගල ප්‍රදේශයේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ක්‍රාෆ්ට්මන් ඕටෝඩ්‍රොම් ධාවන පථයේදී මේ තරගාවලිය පැවැත්වීමට නියමිතය. මේජර් ජෙනරාල් ලලිත් වීරතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සංකල්පයකට අනුව ප්‍රවීණ මෝටර් රථ ධාවක මේජර් ජෙනරල් රවී මායාදුන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම මත ලුතිනල් කර්නල් ඉන්දු සම‍රකෝන් හා ලුතිනල් කර්නල් දුමින්ද ජයසිංහ, සංජීව ද මෙල් හා ඉන්දික ගුරුසිංහ යන මහත්වරුන්ගේ විශේෂඥ දැනුම මත මීටර් 1700 ක දුර ප්‍රමාණයකින් හා පළල මීටර් 30 කින් සමන්විත මෝටර් රථ හා යතුරුපැදි ධාවන පථය ප්‍රධාන හැරවුම් 5කින් සමන්විත වන පරිදි නිර්මානය කර ඇත. මේ ධාවන පථයේ පළමු තරගාවලිය 2011 වසරේදී පවත්වන ලදී. අඛණ්ඩව හත්වන වරටත් සංවිධාන වන මේ තරගාවලිය වසරින් වසර නවීකරණය වූ තරගාවලියක් ලෙස මෙරට මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩයකයන් වෙත නවමු අත්දැකීමක් එක් කීරීමට සමත්ව ඇත.

මේ වසරේදී ද ක්‍රාෆ්ට්මන් ධාවන පථය මෙරට ඇති හොඳම බොරලු (Gravel) ධාවන පථය ලෙස නවීකරණය කර ඇති බව පසුගියදා කොළඹ පැවැති වලව සුපර්ක්‍රොස් තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී වත්මන් ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති හා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග ‍මහතා පවසා සිටියේය. රට දැය වෙනුවෙන් ජීවිත පුජාකළ සහ ආබාධිත තත්වයට පත් විරෝධාර රණ විරුවන්ගේ පවුල් වල සුභ සාධනය උදෙසාත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ දැනට සේවය කරන රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසාත්, රෙජිමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධන උදෙසාත් අවැසි මූල්‍ය ප්‍රතිපාදන උපයා ගැනීමේ උතුම් පරමාර්ථය පෙරදැරී කරගනිමින් මේ තරගාවලිය වාර්ෂිකව සංවිධාන කිරීමට බලාපොරොත්තු වන බව හා පසුගිය පස් වසරක් තුළ මේ තරගාවලිය සංවිධාන කිරීමෙන් උපකාර ඇවැසි පිරිසකට උපකාර කළ හැකි වූ බවත් මේ වසරේදී ද ඒවැනිම වැඩකටයුතු රාශියක් මේ තරගාවලිය සංවිධාන කිරීම තුළින් කළ හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටි‍යේය.

මෙරට කීර්තිමත් යතුරුපාදි ධාවකයෙකු වූ පසුගියදා අප අතරින් වියෝ වූ ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් විශේෂ අභියෝගතා කුසලානයක් ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය විසින් පළමු වරට හඳුන්වා දී ඇති බවත් වලව සුපර්ක්‍රොස් තරගාවලියේදී මුලින්ම එය ලබාදීමට කටයුතු කරන බවත් නුවරඑළිය මාර්ග ධාවන තරගාවලිය ඇතුළු සමස්ථ ‍ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධාන කරන තරගාවලි වලදී සුපර් මෝටා‍ඩ් තරග ඉසව්ව වෙනුවෙන් එම කුසලානය ප්‍රධානය කිරීමට බලාපොරෝත්තු වන බවත් මේ අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජයේ සභාපති ආනන්ද ජයසේකර මහතා පවසා සිටියේ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ ලේකම් අනිල් ජයකොඩි, මධ්‍යස්ථ සේනා විධායක බ්‍රිගේඩියර් සමන් ෆෝන්සේකා තරගාවලියේ සංවිධායක කමිටු සාමාජික මෙන්ම ප්‍රවීණ ධාවක ලුතිනල් කර්නල් දුමින්ද ජයසිංහ, කෝස්වේ පේන්ට් ලංකා නියෝජනය කරමින් වී. කිරිදරන් මහතා, පසුගිය වසරේ දක්ෂතම ධාවකයා වූ ගයන් සඳරුවන් හා දක්ෂතම රියදුරා වූ පසිඳු පීරීස් එක් සිටියහ.

කෝස්වේ පේන්ට් ලංකා (පුද්ගලික) සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස කටයු කරන අතර සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම විශේෂ අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

නව අදහස දක්වන්න