පාපන්දු මුදල් රු. මිලියන 28ක් අතුරුදන්වීම | දිනමිණ

පාපන්දු මුදල් රු. මිලියන 28ක් අතුරුදන්වීම

ප්‍රින්ස් ගුණසේකර

මූල්‍ය කළමනාකරුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

* වීරසේකර කමිටුව අහෝසියි
* විමර්ශන විනය මණ්ඩලය හමුවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 28ක් අස්ථාන ගතවීම සම්බන්ධව සොයා බැලීමට පත්කළ සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුව අහෝසි කොට වැඩිදුර පරීක්ෂණ කටයුතු පාපන්දු විනය කමිටුව වෙත භාරදීමට තීරණය වෙයි. එයට අමතරව ජාත්‍යන්තරව පිළිගත් විගණන සමාගමක් මගින් ද පාපන්දු සම්මේලනයේ ගිණුම් කටයුතු සොයා බැලීම සුදුසු බව විධායක කමිටුව තීරණය කොට ඇත.

පාපන්දු මුදල් අස්ථානගතවීම පිළිබඳ චෝදනා ලැබ සිටින පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ හිටපු පාපන්දු සභාපතිවරයකු හා හිටපු භාණ්ඩාගාරිකවරයකු මේ මුදල් අස්ථානගතවීමේ සිද්ධියට සෘජුව සම්බන්ධ බවයි. එම දිව්රුම් ප්‍රකාශය මගින් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධව පාපන්දු විධායක කමිටුවේදී දීර්ඝව සාකච්ඡාවී ඇත. එබැවින් රුපියල් මිලියන 28ක සිද්ධියට අමතරව තව තවත් පාපන්දු මුදල් අස්ථානගතවී ඇත්ද යන්න සෙවිය යුතු බව පාපන්දු විධායක සභිකයන් බහුතරයක් ඉල්ලා ඇතැයි පැවැසේ.

දැනට වැඩ තහනමකට ලක්ව ඇති මූල්‍ය කළමනාකරු මුදල් අස්ථානගතවීමේ සිද්ධිය අනාවරණය වූ වහාම කුරුදුවත්ත පොලිසියට දුන් ප්‍රකාශයේ වෙනත් කිසිවෙකුගේ නම් සඳහන් කොට නොතිබූ අතර පසුව හදිසියේම දිවුරුම් ප්‍රකාශයක් මගින් හිටපු නිලධාරීන් දෙදෙනකුගේ නම් ලබාදීම පසුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වේද යන්න සෙවිය යුතු බවට විධායක සභිකයන් කිහිප දෙනකුගේ සූදානමක් ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපන්දු විනය කමිටුව ස්වාධීන මණ්ඩලයක් බැවින් මේ සියලු කරුණු එහිදී අනාවරණය කරගත හැකි බව පාපන්දු සම්මේලනයේ අදහසවී ඇතැයි පැවැසේ. නීතිඥ ජගත් විජේරත්න මහතා ප්‍රමුඛ නීතිඥයන් තිදෙනකුගෙන් සමන්විත පාපන්දු විනය කමිටුව ඉදිරි දිනවල රැස්වී විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අස්ථානගතවූ මුදල් අලාභය තමන් පෞද්ගලිකවම පාපන්දු සම්මේලනයට පියවීමට සූදානම් යැයි හිටපු පාපන්දු මූල්‍ය කළමනාකරු දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. මේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබෙන ආසියානු පාපන්දු සම්මේලනයේ හා ලෝක පාපන්දු සම්මේලනයේ ආධාර මුදල් මේ වනවිට තාවකාලිකව අත්හිටුවීමට එම සම්මේලන පියවර ගෙන ඇත.

එහෙත් මෙලෙස ආධාර නැවැත්වීමට එරෙහිව පාපන්දු සභාපති අනුර ද සිල්වා හා ලේකම් යූ. එල්. එම්. ජස්වර් යන මහත්වරු ආසියානු හා ලෝක පාපන්දු සම්මේලන වෙත කරුණු සැලකරමින් සිටින බව ද වාර්තා වේ.

ලෝක පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයුම් කටයුතුවලට වසරකට අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් හිමිවන අතර ඉදිරි වැඩ සැලසුම් වෙනුවෙන් වෙනම රුපියල් ලක්ෂ 7.5ක මුදලක් හා ආසියානු පාපන්දු සම්මේලනයෙන් වාර්ෂිකව ඩොලර් ලක්ෂ 2.5ක් ශ්‍රී ලංකාවට පිරිනැමේ. එයින් වැඩි කොටසක් මේ වසරේ මේ වනවිටත් ලැබී ඇති අතර ඉතිරි මුදල් නිදහස් කිරීම අත්හිටුවා ඇත.

පාපන්දු මුදල් අත්හිටුවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු හෙළි කිරීමේ අදහසින් පාපන්දු සම්මේලන ප්‍රධානීහූ අද දිනයේ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.

නව අදහස දක්වන්න