විශ්වවිද්‍යාලයීය ලෝක කුසලාන ක්‍රිකට් | දිනමිණ

විශ්වවිද්‍යාලයීය ලෝක කුසලාන ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ බී.එම්.එස් අවසන් පූර්ව වටයට

රෙඩ්බුල් විශ්වවිද්‍යාලයීය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්.) සමත් විය.

තරගාවලියේ දෙවැනි දිනය වූ පෙරේදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරියට් වොට් විශ්ව විද්‍යාලයට එරෙහිව කොළඹ පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ බී.එම්.එස්.කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 133ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බී.එම්.එස්. ක්‍රීඩකයෝ පන්දු 39ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි. ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රීඩකයන් වන ළහිරු මිලන්ත හතරේ පහර 6ක්, හයේ පහර 2ක් සමගින් පන්දු 30කින් ලකුණු 47ක් රැස්කළ අතර හෂාන් දුමිඳු නොදැවී 40ක් හා මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 23ක් බී.එම්.එස් පිලට එක් කළහ.දවා ගැනීම් 3කට දායක වෙමින් හා නොදැවී ලකුණු 23ක් රැස්කරමින් දස්කම් දැක්වූ මනෝජ් සරත්චන්ද්‍ර තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.දෙවැනි දිනයේදී බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලය (යූ.එල්.ඒ.බී) සහ දකුණු අප්‍රිකාවේ වයඹ විශ්වවිද්‍යාලය (එන්.ඩබ්.යූ. කණ්ඩායම) ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පී. සරා ඕවල් පිටියේදී සිම්බාබ්වේහි විද්‍යාව සහ තාක්ෂණවේදී ජාතික විශ්ව විද්‍යාලයට (එන්.යූ.එස්.ටී.) එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 130ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ පිලට හැකිවිය.

සිම්බාබ්වේ ඉනිම බිඳ දමමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රෆි මොටාසාගේ සොහොයුරු මොසලීන් මොටාසා ලකුණු 19කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකාවේ වයඹ විශ්වවිද්‍යාල පිල (එන්.ඩබ්.යූ.) හමුවේ ඉන්දියාවේ පූනේහි මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහල (එම්.එම්.සී.සී) පිල ලකුණු 72කින් පරාජයට පත්විය.

 

නව අදහස දක්වන්න