හක්මන ආපදාවට ලක්වූ 77කට වන්දි මුදල් | දිනමිණ

හක්මන ආපදාවට ලක්වූ 77කට වන්දි මුදල්

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ හක්මන ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ ඉකුත් ගංවතුර සමයෙහි ආපදාවන්ට ලක්වු 77 දෙනකු වෙත රුපියල් 4426510ක වන්දි සහන මුදලට අදාළ චෙක්පත ප්‍රදානය පසුගියදා රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් සිදු කෙරිණි.

සිදුව ඇති ආපදාවන්ගේ ස්වභාවය අනුව මේ මුදල් චෙක්පත් ප්‍රදානය කරන ලද්දේ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හක්මන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාවකදීය.එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

ජනතාවට මොන මොහොතක නොසිතූ විරූ අයුරින් කිසියම් ආපදාවකට මුහුණ දෙන්ට වේද කියලා කල් ඇතිව අපට සිතන්නට බැහැ.දේශපාලන නායකත්වයන්ගෙන් මෙන්ම රජයේ නිලධාරීන්ගේ ද වගකීම විය යුත්තේ එවැනි හදිසි ආපදාවකදී ජනතාව ඉන් මුදාගැනීමට කඩිනමින් කටයුතු කිරීමත් සමග ඔවුන්ට සිදුව ඇති ආපදාවන්ට අනුව දියහැකි උපරිම සහන වන්දි ලබා දීමට පියවර ගැනීමත්ය.

මෙතෙක් පැවති හැම ආණුඩුවකින්ම කළේ ආපදාවකදී නිවෙසකට හානියක් වුණොත් රුපියල් 100000ක මුදලක් ලබා දීම පමණයි.වත්මන් රජයේ ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් මඟින් එහි ලොකු වෙනසක් ඇති කළා.ඒ අනුව මේ රටේ හැම නිවසක්ම රක්ෂණය කිරීම වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි තිස්අට දහසක මුදලක් වෙන්කර දී තිබෙනවා.ඒ අනුව දැන් හදිසි ආපදාවකට මුහුණ දුන් හැම කෙනකුටම ආපදාවේ ස්වභාවය අනුව වන්දි හිමිකම් ලබාගත හැකිය.

අප දැන් ජීවත් වන කලාපය මේ රටේ හදුනාගෙන ඇත්තේ තවත් අවදානම් කලාපයක් හැටියටයි.මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස පස්ගොඩ හා මුලටියන වැනි ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසවලට ඉකුත් සමයේ සිදු වු ගංවතුර ආපදාවන් වඩාත් බලපෑවේ ඒ අනුවයි.මිනිස් ක්‍රියාකාරකම්වලින් එන්න එන්නම සිදුවෙමින් පවතින ගස් කොලන් කැපීම,කැලෑ එළිකිරීම වැනි පාරිසරික හානි මේ අයහපත් කාලගුණික විපර්යාසයට හේතු වී තිබෙනවා.හක්මන ප්‍රාදේශීය මහ ලේකම් කුශලක නානායක්කාර මහතා ඇතුලු ආපදා සහන සේවා නිලධාරි කේ.ආර්.සුජීවන් හා ආර්ථික සංවර්ධන නිලධාරි චන්දන සිරිවර්ධන යන මහත්වරු ද කථා කළහ.

හක්මන විශේෂ ආර්. පීරිස්

නව අදහස දක්වන්න