පාණදුර වෙරළේදී එක්දරු පියෙක් මරා දමලා | දිනමිණ

පාණදුර වෙරළේදී එක්දරු පියෙක් මරා දමලා

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

පාණදුර වෙරළ තීරයේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි .

මෙසේ ඝාතනයවී ඇත්තේ පානදුර , සාගර මාවතේ පදිංචි එක් දරු පියකු වන දසනායකමුදියන්සේලාගේ ඉන්දික උදය කුමාර ( පත්තා ) නැමති පුද්ගලයෙකි . පසුගිය 2 දා සවස මත්පැන් පානය කරමින් සිටියදී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් වීමක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදු වි ඇති බව පොලිසිය පවසයි .

අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පානදුර නගරයේ කරවල වෙළඳසලක් පවත්වාගෙන යන අයකු වන අතර අනෙක් පුද්ගලයා හමුදා සේවය අතහැර සැඟවී සිටින අයෙකි .

සැකකරුවන් සමඟ ඝාතනයට යොදා ගත් අඩි 2ක් පමණ දිග ලේ තැවරුණ මන්නයක්ද සොයා ගෙන තිබේ.ප්‍රධාන සැකකරු පානදුර , හිරණ තොටුපළ අසලදීත් අනෙක් පුද්ගලයා පානදුර බස්නැවතුම්පළේදීත් අත් අඩංගුවට ගෙන තිබිණි.

පසුගිය 02 දා සවස මියගිය පුද්ගලයා තවත් මිතුරකු සමඟ මෝටර් රථයකින් පානදුර වෙරළ තීරයේ ගමන් කරමින් සිටියදී ප්‍රධාන සැකකරු ඔහුගේ බාල සහෝදරයා සමඟ පා ගමනින් වෙරළ තීරයේ ගමන් කරමින් සිට ඇත . එම අවස්ථාවේ මිය ගිය අය මෝටර් රථය සැකකරුගේ සහෝදරයාගේ ඇඟේ හප්පා ඇතැයි මුලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ . මේ සිද්ධිය හේතුවෙන් ඇති වු කතා බහ දුර දිග ගොස් ප්‍රධාන සැකකරු නිවෙසට ගොස් මන්නය රැගෙන දෙවැනි සැකකරු සමඟ පැමිණ දෙනෝ දාහක් ගැවසෙන වෙරළ තීරයේදී මෙම ඝාතනය සිදු කර පලා ගොස් තිබිණි.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ පානදුර පොලිසියට භාර දීමට කටයුතු කර තිබේ .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු කොට්ඨාස භාර පොලිස් අධිකාරි එෆ් .ආර්. සේනානායක මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති අසංක රාජකරුණා සැ 17605 ආනන්ද , 3464 අජිත් , 55202 වීරසේන , කො 38049 චමින්ද , 69915 ජයසුරිය , 69918 වසන්ත , 34502 ධර්මසේන , 88317 විජේකෝන් , 85049 මධුරංග , 18700 දේවප්‍රිය නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ . 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...