මැටි වළ‍ඳෙන් දිවි රැකගත් අපි අද අන්ත අසරණයි | දිනමිණ

මැටි වළ‍ඳෙන් දිවි රැකගත් අපි අද අන්ත අසරණයි

දේශීය වළං කර්මාන්තයට කණකොකා හඬන ලකුණු පහලවේගෙන එනබැව් අනාවරණය විය. මැටි කර්මාන්තයෙන් දිවි ගෙවූ බොහෝදෙනා අන්ත දුගී අසරණ තත්ත්වයකට ඇදවැටී ඇත. මේ බැව් අනාවරණය වූයේ ජා-ඇළ කළඑළිය සාන්ත ජුවකීනු මුනිතුමන්ගේ වාර්ෂික මංගල්‍යයට ඒ අවට වළං වෙළෙඳාමේ යෙදී සිටි දුම්මලසූරියේ පාවුළුගේ ඩේලින් නෝනාගෙන් සහ ආණමඩුවේ ජේ. ඒ. උපාලි වීරසිංහ යන දෙපළගෙනි.

පාවුළුගේ ඩේලින් නෝනා මහත්මිය - වසර 35ක් තිස්සේ මේ වළං රැකියාව මාත් මගේ සැමියාත් ඉතාම සාර්ථකව කළා. සැමියා හදිසි අනතුරකින් දිවියෙන් සමුගැනීම නිසා තිදරු මවක වූ මා අසරණ වුණා. නමුත් මා මේ පාරම්පරික රැකියාව කරදරයක් නැතිව කරගෙන ගියා.

මේ මෑතකදී වෙළෙඳ පොළට ඇලුමිනියම් හට්ටි මුට්ටි හා ප්ලාස්ටික් බඩු භාණ්ඩ හඳුන්වාදීම නිසා අපේ වළං රැකියාවට හෙනහුරා ලබලා. ආදායමක් නෑ. බොහෝදෙනා වෙනත් රැකියාවලට ගිහින් රජයෙන් මේ මැටි කර්මාන්තය ඉදිරියට ගෙනයන්න අපට ලැබිල තියෙන පහසුකම් මදි. පාරිභෝගිකයාට මැටි වළංවල අගය වටහා දෙන්න කිසිම බලධාරියෙක් නෑ.

අපට වෙනත් ආදායම්මාර්ගයක් නෑ. වළං හදන්න අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ගන්න පහසුකම් රජයෙන් ලබාදීලා නෑ. වළං හදන පස් ප්‍රවාහනය තහනම් කරලා. දැන් වළං මැටි ගුලි ටිපර් එකක් රුපියල් 4000ක් විතර වුණාට නියම මැටිගුලි ටිපර් එකක් නිසිලෙස ලැබෙන්නෙ නෑ. මැටි ලබාගන්න බලපත්‍රවලට අපි විඳින දුක දන්නෙ උඩඉන්න දෙයියෝ සහ අපේ හදගැස්ම විතරයි.

වළං මැටි බහුල ප්‍රදේශ වන්නේ පඬුවස්නුවර, ආනමඩුව, මිනුවන්ගොඩ. මේ තැන්වලින් මැටි ගේන්න අපට ප්‍රවාහන පහසුකම් නෑ. මැටි කර්මාන්තයට අවසර ලබාගන්න ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ බලපත්‍ර සඳහා නොවිඳිනා දුක් විඳින්න සිද්ධ වෙනවා.

අපි දහඩිය හලල නිෂ්පාදනය කරන හැලි, වළං බහුතරයක්ම අලෙවි කර ගන්නෙ මේ රටේ පල්ලි, පන්සල්වලට පිංසිද්ධ වෙන්නයි. සාමාන්‍යයෙන් පල්ලියක මංගල්‍යයකට වළං බොහොම පරිස්සමින් රැගෙන ගිහින් ඒ තැන්වල දවස් 10–12 ගත කරන්න වෙනවා. එහෙම ගියාම වළං විකුණාගන්න නිදිමරන්න ඕනෑ. මදුරුවෝ තලන්න වෙනවා. හරියට ඇස් දෙකට නින්දක් නෑ. කුසට හරිහැටි ආහාරයක් නෑ. ජීවත් වෙන්න කරන්නෙ මහා සටනක්. ඒ සටන ජයගන්න නම් වළං ටික කොහොම හරි අලෙවි කරගන්න ඕනෑ.

කුමාරගම ආණමඩුවේ ජේ. ඒ. උපාලි වීරසිංහ මහතා - දේශීය නිෂ්පාදනයට හෙන ගැහැව්වත් කමක් නෑ කියලා අපේ අය පිටරටින් එන දේට කට ඇරගෙන සිටින නිසයි අද විදේශගත රටවලින් ආනයනය කෙරෙන ඇලුමිනියන් සහ ප්ලාස්ටික් භාණ්ඩ භාවිතයට ප්‍රධාන තැනක් දීල දුප්පත් වළං කාරයාව තුට්ටුවට බස්සලා තියෙන්නේ.

අවුරුද්දේ මාස 12ටම අපි වළං අරගෙන පල්ලි, පන්සල්, දේවාලවලට ජංගම සේවයේ යෙදී සිටිනවා. වළං රැකියාවට කණකොකා ඇඬීම නිසා වළං කර්මාන්තයේ රැඳී සිටි තරුණ තරුණියන් රු. 18,000 – 20,000 පඩි ගෙවන වෙළෙඳ කලාපවලට රැකියාවල් සොයාගෙන තිබෙන නිසා අද 50% වාගේ වළං මැටි කර්මාන්ත වැහීගෙන යනවා.

දේශීය නිෂ්පාදනයට තැන ලබාදී මේ කර්මාන්තය නගාසිටුවන්න රජයේ වගකිවයුතු අයගේ අවධානම යොමුවෙලා නෑ. වළං නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ලැබිලා නෑ.

වළං නිෂ්පාදනයට අවශ්‍ය පස් වෙනුවට දැන් ගේන්න අවසර තියෙන්නේ මැටි ගුලි කරල ගේන්න. මේ මැටි ගුලි ටිපර්එකක් රු. 3000 – 4000ත් අතර මුදලක් වෙනවා. මැටි ලැබුණට වළං නිපදවීමට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර, විදුලි සකපෝරු, පෝරනු, දර ප්‍රවාහන යන මේවා නිසියාකාර ලැබෙනවා නම් මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. වළංවලට දිවයිනේ ප්‍රසිද්ධ පඬුවස්නුවර, ආණමඩුව, මිහිරිගම, සඳලංකාව, පුත්තලම යන ප්‍රදේශවලින් මැටි සැපයුවාට ඒවා නිසියාකාර නිෂ්පාදනයට ලබාගැනීමට අපට අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමේ දුෂ්කරතාවක් බලපානවා.

ජා-ඇළ මධ්‍යම
ලෙස්ලි පෙරේරා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...