අත්තනගල්ල හීන්දෙණිය වැව ඇළමාර්ග ප්‍රතිසංස්කරණයට | දිනමිණ

අත්තනගල්ල හීන්දෙණිය වැව ඇළමාර්ග ප්‍රතිසංස්කරණයට

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක ව්‍යාපෘති 28 අතර විශාලතම කෘෂිකාර්මික ව්‍යාපෘතිය වන පැරැණි ‘හීන්දෙනිය වැව’ සහ ඊට අයත් ඇළමාර්ග ප්‍රතිසංස්කරණය පසුගියදා ආරම්භ කෙරිණි.

හීන්දෙණිය ගොවි සංවිධානයේ සභාපති සුගතදාස හෙට්ටිආරච්චි මහතා-දීර්ඝ කාලයක් තිස්සේ වල්බිහිවී විනාශවී තිබූ මේ වැව සහ ඇළමාර්ග පිළිසකර කිරීමෙන් මෙතෙක් පුරන්ව තිබූ කුඹුරු අක්කර 75කට වැඩි ප්‍රමාණයක් වගා කළ හැකි වුණා. මුළු ගමටම බත සැපයූ කුඹුරුයාය මේක. පුරන්වෙලා ලොකු පාඩුවක් වුණේ. සම්බන්ධිකරණ කමිටුවට යෝජනා කළාට වැඩක් වුණේ නෑ. මේ පාර ‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ අනුමත වුණා.

කුමාර වන්නිආරච්චි ගොවි මහතා - සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල එන වැස්සට ඉස්සර වෙලා මේක ආරම්භ කරන්න ලැබුණු එක ලොකු දෙයක්.

අත්තනගල්ල තරුණසේවා නිලධාරී උපුල් හර්ෂකුමාර මහතා-ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට හා චක්‍රලේඛයන්ට අනුකූලව ව්‍යාපෘති ඇස්තමේන්තුව සකස් වෙනවා. ඒ අනුව 50%ක ප්‍රජා දායකත්වයක් ඇතුළත්වන අතර ගමේ තරුණ පිරිස් ශ්‍රමදායකත්වය අනිවාර්ය වෙනවා.

මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කර අපේක්ෂිත ඉලක්කය කරා මෙහෙයවන මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් වන හීන්දෙණිය ග්‍රාම නිලධාරිනී හංසනී අනුත්තරා විජේරත්න, ආර්ථික සංවර්ධන නිලධාරිනී කිශානි, මංජුලා හෙට්ටිආරච්චි, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර චින්තානි පීරිස් සහ තරුණසේවා නිලධාරී උපුල් හර්ෂ කුමාර මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

හීන්දෙණිය ‘සුසව්’ යෞවන සමාජයේ යෞවන යෞවනියෝ ශ්‍රමදායකත්වයෙන් සහාය වූහ.

ජයවීර සුගතපාල
අත්තනගල්ල විශේෂ

නව අදහස දක්වන්න