විල්පත්තු වන මායිෙම් ගම්වැසියන්ට වන අලි තර්ජන | දිනමිණ

විල්පත්තු වන මායිෙම් ගම්වැසියන්ට වන අලි තර්ජන

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

විල්පත්තුව වන මායිමේ පිහිටි වැලිඇළ ගම නියඟය නිසා ආහාර සහ පානීය ජල හිඟයකට මුහුණපා සිටී. ප්‍රමිතියෙන් තොරව ගම්මායිමේ ඉදිකොට ඇති අලිවැට බිඳ අලි ගම්වැදීම ද මහත් ගැටලුවක් වී තිබේ. ප්‍රාදේශීය සභාවෙන් සතියකට හමාරකට වරක් බවුසර් මගින් ජලය ගෙන ආව ද ඒ ජලය බීමට සුදුසු නැති බව ගැමියෝ කියති.

වැලිඇළ එන්. ඒ. පොඩිමැණිකේ මහත්මිය - වැට බිදගෙන අලි ගම්මැදිවලට එනවා. මේ අලි වැට හරිහමන් විදිහට හදපු එකක් නෙමෙයි. කණු උසත් නෑ. කම්බි හරියට ඇදලත් නෑ. මේක ගම්වල මිනිස්සු රවට්ටන්න කරපු වැඩක්. ඒත් අලි රවට්ටන්න ලේසි නැති නිසා උන් වැට පෙරලගෙන ගමට එනවා. සිවිල් ආරක්ෂක කට්ටිය ඇවිල්ලා වැට හදනවා. ආයේ පෙරලනවා. ඕක තමයි යුද්දේ.

එච්.කේ. රෝහණ මහතා - යුද්ධ කාලේ අල්ලපු කටුපත්වැව ගමට කොටි ගහලා කීපදෙනෙක් මැරුවා. මේ ගමත් කැලේ මායිමේ තියෙන නිසා ඒ කාලෙත් කරදරවල අඩුවක් තිබුණේ නෑ. සමහරු ගමදාලා ගියා. අපි කොහේ කියලා යන්ඩද. හැම කරදරයක්ම විදගෙන තාමත් ඉන්නවා. හේන් කරලා ජීවත් වෙන අපිට කන්න තුනක් තිස්සේ ගොවිතැනක් කරගන්ඩ බැරිවුණා. දැන් හේන් සුද්ද කරගෙන බලාගෙන ඉන්නවා වහිනකන්. තාමත් හරිහමන් වැස්සක් නෑ. ගොඩක් අයට කන්ඩ බොන්ඩත් හිඟයි. ඒ හැමදේම එක්ක තමයි අලි ගමට පනින්නේ.

ඊ. ඒ. දීපිකා ශ්‍රියානි මහත්මිය - සහනාධාර වැඩ පටන් අරගෙන තියෙනවා. ඒකත් වෙලාවේ හැටියට ලොකු දෙයක්. මොනදේ කරන්නත් ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න ඕනනේ. බොන්න වතුර නැතිඑක තමයි අනිත් ප්‍රශ්නේ. ප්‍රාදේශීය සභාවෙන් ගෙනත් දෙන වතුර බොන්ඩ එපා කියලා ඒ අයම කියනවා. එපා කිව්වට සල්ලි දීලා වතුර ගන්න හයියක් මේ වෙලාවේ අපිට නෑ. නාගන්ඩවත් වැවේ වතුර නෑ. අඩියටම හිදිලා තියෙන මඩ වතුර බොන්ඩ හවසට අලි රංචුවක් එනවා වැවට.

රොෂාන් සම්පත් මහතා - හැමෝටම අමාරු කාලයක් මේක. අහස දිහා බලාගෙන හුල්ලන්න වෙලා තියෙන්නේ. හේන් කරන කාලෙට හොදට කාලා බීලා කීයක් හරි ඉතුරු කරගන්නවා. හේන් සුද්ද කරගෙන බලාගෙන ඉන්නවා වැස්සක් වැටෙයි කියලා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...