ලිඳුල රෝහලේ මිනී ගොඩගහන්නේ කොරිඩෝවේ | දිනමිණ

ලිඳුල රෝහලේ මිනී ගොඩගහන්නේ කොරිඩෝවේ

මෘත ශරීරාගාරයක් ඉදිකිරීමට ලබා දුන් මුදල් වෙනත් කටයුත්තකට යොදවීම නිසා මේ වන විට ලිඳුල රෝහලට මෘත ශරීරාගාරයක් නැතිකමින් එහි මළසිරුරු කොරිඩෝව තුළ ගොඩගසා තිබෙනු දක්නට ලැබෙන්නේ යැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ. පී. ශක්තිවේල් මහතා පවසයි.

මෙසේ මළසිරුරු ගොඩගසා තිබෙනවා දැකීමෙන් නේවාසික රෝගීන් බියට පත්වෙනවා සේම අසහනකාරී තත්ත්වයකට මුහුණදෙනවා මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට පවා විෂබීජ පැතිරීමේ අවදානමක් ද පවතින බව ද පෙන්වා දෙයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉකුත්දා පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිවූ කරුණක් පිළිබඳව අප තවදුරටත් කරුණු විමසීමේදීය.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ. පී. ශක්තිවේල් මහතා - 2016 අවුරුද්දෙදී පළාත් සභාවෙන් දසලක්ෂ 6ක් වෙන්කරල දුන්නා. මේ මෝචරිය තියෙන තැන සුදුසු නැති හින්දා ඒක අයින් කරල අලුත් එකක් හදන්න. රෝහල් සංවර්ධන කමිටුවෙන් සුදුසු ඉඩමක් හොයලත් දුන්නා. පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තමයි දැනගත්තේ ඒ සල්ලි වෙන වැඩකට දාලා කියල. මෝචරිය හදන්න වෙන්කරපු සල්ලිවලින් වෙන වැඩක් කරන්න බෑ.

ලිඳුල ඉස්පිරිතාලෙ කියන්නේ වතු සහ අවට ගම්මානවල පහළොස්දාහක් විතර ජනතාව සෞඛ්‍ය කටයුතු කරගන්න එන තැනක්. ඒ හින්දා ඉක්මනින් මේ මෘත ශරීරාගාරය හදල දෙන්න කියල මම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

වෛද්‍ය මහින්ද පතිරණ මහතා (සැලසුම්) - පැරැණි මෘත ශරීරාගාරය ගිලා බැසීම නිසා අලුතෙන් එකක් ඉදිකිරීමට ලැබුණේ දසලක්ෂ 2කට ආසන්න මුදලක්. එම බිමේ තත්ත්වය අනුව එහි ගොඩනැගිල්ලේ අත්තිවාරම දක්වා පමණක් දසලක්ෂ 5ට වැඩි මුදලක් වැය වන බවට වාර්තා ලැබුණා.

ඒ නිසා එය ඉදිකිරීම නවතා ලැබී තිබූ මුදල් ආපසු යැවිය නොහැකි බැවින් වෙනත් කාර්යයකට යෙදවූවා. මේ වන විට සුදුසු ඉඩමක් හඳුනාගෙන තිබෙන බැවින් පසුගිය සතියේදී එහි ඉදිකිරීම් කිරීමට ඇස්තමේන්තු සැකසීම ආරම්භ කළා. 2018 වසරේදී එය ඉදිකිරීමට කටයුතු යොදනවා.

නව අදහස දක්වන්න