කොට්ටව ඇළේ පාලම කැඩිලා | දිනමිණ

කොට්ටව ඇළේ පාලම කැඩිලා

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් යක්කලමුල්ල හරහා ගාල්ල අකුරැස්ස මාර්ගයේ කොට්ටව ඇළ හරහා ගම්මාන කීපයකට එගොඩ මෙගොඩවීමට තිබූ පාලම කැඩී යාම නිසා ප්‍රදේශයේ පවුල් 100කට පමණ අයත් සාමාජිකයන් 250කට වැඩි පිරිසක් අසරණ වී ඇති බව එම ප්‍රදේශවාසීහු පවසති.

උඩුවිටියන, ඇටකොස්සවිල, මුලන, මලුවාගොඩකන්ද යන ගම්මානවලට යෑම සදහා තිබු එකම පාලම පසුගිය ගංවතුරෙන් පසු කැඩී යාම නිසා ගම්වැසියන්ට ගමට යන්න සිදුව ඇත්තේ කොට්ටව ඇළට බැස එගොඩ වීමෙනි. වර්ෂා දිනවලට මරු කපොල්ලක් වන මෙය ඉක්මනින් සාදා දෙන ලෙස බලධාරීන්ට පැවසුව ද මෙතෙක් එය ඉටු නොවීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පළ කරයි. වසර 19ක්ට පමණ පෙර මේ පාලම සමෘද්ධි අරමුදල් යටතේ සාදා ඇති අතර ඉන්පසු පාලමට හෝ මාර්ගයට කිසිදු අලුත්වැඩියාවක් සිදුකර නොමැත. පසුගිය කාලය තුළ මේ ඇළ මාර්ගය පුළුල් කිරීම නිසා ගංවතුර ඇතුළු වූ අවස්ථාවේ දී පාලම කැඩී යන්නට ඇති බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.

කේ. එච්. පාලිත මහතා - 1998 වර්ෂයේ තමයි මේ පාලම හැදුවේ. ඇස්තමේන්තුව 75000ක්. ගමේ අයගේ ශ්‍රමයත් එක්ක එහෙම හැදුවේ. පසුගිය කාලයේ මේ ඇළ මාර්ගය ප්‍රතිසංසකරණය කළා. ඒ සමගින්ම ආපු ගංවතුරත් සමඟ පාලම කඩාගෙන ගියා. දැන් මේ පාලම ආයිත් අළුතෙන් සෑදිය යුතුයි. ඉක්මනින් මෙය ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.

කේ. වී.ජී. වින්ද්‍යා සිසුවිය - අපේ පාසල් ගමන අද අපහසුතාවයට පත්වෙලා තියෙනවා. අනේ අපිට කොහොමහරි මේ පාලම හදලා දෙන්න. පසුගිය ගංවතුරට නිසා අපේ පාලම ගොඩක් අබලන් වුණා. උදේට සපත්තු වලට ෂොපින් බෑග් දාගෙන අපි යන්නේ. අපේ සපත්තුවල මඩ ගෑවෙනවා. ඉස්කෝලේ ගියාම මැඩම්ලාගෙන් බැනුම් අහන්නත් වෙනවා. වැස්ස දවසට නම් යන්නම බයයි.

ගම්වැසියකු වන චාලට් ගුරුගේ මහත්මිය - වැස්ස දවසට යන්නම බෑ. දරුවන් වැස්ස දවසට ඉස්කෝලේ යන්න බෑ කියලා අඩනවා. දැන් අපේ ළමයි උස්සන් යන්න පුළුවන් නම් එහෙම ගෙනියනවා. නමුත් එහෙම බෑ. ඇළට බැහැලා තමයි යන්න වෙන්නේ. එහෙම යනකොට හැමතැනම මඩ. වයසක කෙනෙකුට රෝහලට යන්න බෑ. බඩුටික ගේන්න එන ගමේ කෙනා පවා ඇළට බැහැලා එන්න වෙන්නේ.

ගම්වැසියකු වන ඒ. ජී. විජේදාස මහතා - ඡන්දේ ඉල්ලන්න එන වෙලාවට නම් හදනවා කියනවා. ඒත ඒ දේවල් වෙන්නේ නෑ. 1998 පස්සේ කිසිම ප්‍රතිසංස්කරණයක් නෑ. කියන්න තියෙන හැම කෙනාටම කිව්වා. ඇවිල්ලා බැලුවා. ප්‍රතිපාදන නෑ කියලා අතහරිනවා. ඡන්දේ ඉවර වූ ගමන් අපි අවලංගු කාසි වෙනවා.

නව අදහස දක්වන්න