ජාතික ආර්ථික සභාව රැස්වෙයි | දිනමිණ

ජාතික ආර්ථික සභාව රැස්වෙයි

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජාතික ආර්ථික සභාව පළමු වරට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන මංගල සමරවීර, සරත් අමුණුගම, සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාර සහ ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්

මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහතවරුන් ඊට සහභාගී වූහ.

දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් රටේ ජාතික ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීම ජාතික ආර්ථික සභාවේ ප්‍රමුඛ වගකීම බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ අවශ්‍ය මූලික කරුණු පිළිබඳ අවශ්‍ය අවස්ථාවන්වල දී රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම ව්‍යවසායකයන් ද කැඳවා සාකච්ඡා පවත්වන බව කියා සිටියේය.

විශේෂයෙන්ම දිළිඳුකම පිටු දකිමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර කඩිනමින් ක්‍රියාවට නැංවීම ජාතික ආර්ථික සභාවේ අරමුණ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආර්ථික ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳ ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.

ප්‍රාදේශීය වශයෙන් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ද අවධානය යොමු කෙරුණු අතර, එක් එක් අමාත්‍යාංශ සහ ආයතන සඳහා වාර්ෂිකව අය-වැයෙන් වෙන් කරන ප්‍රතිපාදන අදාළ සංවර්ධන කාර්යයන් සඳහා වැය නොකර ආපසු මහා භාණ්ඩාගාරය වෙත හරවා එවීමෙන් රටේ සංවර්ධනයට සහ මහජන සුබසාධනයට සිදුවන අසාධාරණය පිළිබඳ ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

දිස්ත්‍රික් මට්ටමින් අදාළ මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වල දී ගන්නා තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ලබාදෙන ප්‍රතිපාදන නිසි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳ ද ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.

ග්‍රාමීය මට්ටමින් මුල්‍ය සමාගම් හරහා සිදුවන අවිධිමත් ණය නිකුත් කිරීම් හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳ ද ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සෘජුවම අදාළ උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රතිපත්ති, ගිවිසුම් හා ව්‍යාපෘති පිළිබඳ උපදෙස් හා මාර්ගෝපදේශනය සැපයීම ජාතික ආර්ථික සභාවේ විෂය පථයට අයත් වේ.

ජාතික ආර්ථික සභාව සෑම සති දෙකකට වරක්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.


මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්

ආර්ථික සභාවේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රාග්ධන අළෙවි උපදේශකවරයකු සහ ශ්‍රී ලංකා මූල්‍ය සංගමයේ සභාපතිවරයකු ලෙස කටයුතු කරන ලලිත් සමරකෝන් මහතා මූල්‍ය ආර්ථික විද්‍යාඥයකු ලෙස දශක දෙකකට වැඩි කාලයක් අත්දැකීම් සහිත මුදල් හා මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි.

එමෙන්ම නැඟී එන වෙළෙඳ පොළ පිළිබඳ අවධානය යොමු කරමින් ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ පර්යේෂණවල නිරතව සිටින ඒ මහතා ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳ ග්‍රන්ථ රැසක් ද සම්පාදනය කොට තිබේ. 

නව අදහස දක්වන්න