‘සුරක්ෂා’ රක්ෂණාවරණය හඳුන්වා දුන්නේ නිදහස් අධ්‍යාපනය තවත් සුරක්ෂිත කිරීමටයි | දිනමිණ

‘සුරක්ෂා’ රක්ෂණාවරණය හඳුන්වා දුන්නේ නිදහස් අධ්‍යාපනය තවත් සුරක්ෂිත කිරීමටයි

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිසුවියකට ත්‍යාගයක් පිරි නැමූ අවස්ථාව.

ලක්ෂ හතළිස් පහක් වන මෙරට සියලු පාසල් දරුවන් වෙනුවෙන් "සුරක්ෂා" රක්ෂණාවරණය හඳුන්වා දුන්නේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් සුරක්ෂිත කිරීමට බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රජය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව ද, පසුගිය කාලයේ විවිධ දූෂණ අක්‍රමිකතා මැද ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යාංශය, අද වනවිට යුගයේ අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වන විශිෂ්ට අමාත්‍යාංශයක් බවට පත් කිරීමට තමාට හැකි වී ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

එමෙන්ම, නව ලෝකය ජයගත හැකි දැනුමින් සන්නද්ධ තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්ය භාරය විය යුතු බවද අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කරයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පසුගියදා පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය‍ සහ විශේෂ ප්‍රසාද දීමනා ලෙස අංශ තුනකින් සමන්විත බවත්, සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ හා බාහිර ප්‍රතිකාර සඳහා තෝරාගත් රෝගවලට අදාළව ඖෂධ , වෛද්‍ය ගාස්තු හා පරීක්ෂණ සඳහා රුපියල් දස දහසක ප්‍රතිලාභ වාර්ෂිකව හිමි වන බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ , අනතුරකින් ශිෂ්‍යයකු මියයාමේ දී මවුපියන්ට අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් ලක්ෂයක ගෙවීමක් සහ අනතුරකින් මව හෝ පියා මියයාමක දී ශිෂ්‍යයාට රුපියල් හැත්තෑපන් දහසක ගෙවීමක් ද සිදුකරන බවත්, සිසුන්ට සිදුවන අබලතාවක දී රුපියල් ලක්ෂයක් දක්වා උපරිමයක ප්‍රතිලාභ හිමිවන බවද පෙන්වා දුන්නේය. විශේෂ ප්‍රසාද දීමනා යටතේ පෞද්ගලික රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තුවලින් 20% ක් අඩු කරගැනීමට තමන්ට හැකි වූ බවත්, එහි සියලු ප්‍රතිලාභ ද සිසුන්ට හිමිකර දෙන බවත් සඳහන් කළේය. රජයේ රෝහලකින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රුපියල් දහස බැගින් දින 30ක් දක්වා ප්‍රතිලාභ හිමි වන බවද කීය.

මෙවැනි ප්‍රතිලාභ රැසක් දැයේ දරුවන්ට දායාද කිරීම සඳහා තමන් ඇතුළු රජය කටයුතු කරමින් සිටින මොහොතක ඇතැම් පිරිස් නිදහස් අධ්‍යාපනය කප්පාදුවට ලක් කර ඇති බව පැවසීම කනගාටුදායක තත්ත්වයක් බව ද අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය.

අනාගත රැකියා වෙළෙඳ පොළේ බිහිවන නව රැකියා අවස්ථාවලට සරිලන පරිදි විෂයමාලා නවීකරණය කිරීම මෙන්ම e-සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති සුහුරු පන්ති කාමර, උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම, 6 ශ්‍රේණියෙන් ඉහළ පන්ති පැවැත්වෙන සියලුම පාසල් සඳහා පරිගණක ලබාදීම ආදී වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බවත් කීය. රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න