ජනාධිපති සීයා බලන්න මැදිරිගිරියේ දනුල්‍යා ඇවිත් | දිනමිණ

ජනාධිපති සීයා බලන්න මැදිරිගිරියේ දනුල්‍යා ඇවිත්

පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

බහ තේරෙන වයසේ දී පටන් ලොකු දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලන්න ඕනෑ කියනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශවල දී ජනාධිපතිතුමාගේ රූපය දැකපු ගමන් අන්න මෛත්‍රී සීයා ඉන්නවා කියමින් ඒ වැඩසටහන් බලන්න පුරුදු වී සිටිනවා යැයි මැදිරිගිරියේ අමුණුගම ගම්මානයේ පදිංචි දනුල්‍යා චනාදි දැරියගේ මව යුරේෂා ලක්මාලී මහත්මිය පැවසුවාය.

පසුගිය 10 දා මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේ දී පැවති ජනහමුවක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවට පැමිණි මේ තුන් හැවිරිදි දනුල්‍යා චනාදි දැරිය කිසිදු චකිතයකින් තොරව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩිවී විනාඩි 20කට අධික කාලයක් සතුටු සාමිචියේ යෙදී සිටියාය.

මේ සිද්ධිය පිළිබඳව විමසීමට අපි මැදිරිගිරියේ අමුණුගම ගමේ පදිංචි දනුල්‍යා චනාදි දැරියගේ නිවසට ගොඩවීමු. අප එම නිවසට ගොඩවන විටම සිනාමුසු මුහුණින් අප පිළිගත් පුංචි දනුල්‍යා දැරිය මාමලා වාඩිවෙන්න කියමින්ය. පසුව ගෙට ගොස් මව කැඳවාගෙන ආවාය. දැරියගේ පියා ආනන්ද බණ්ඩාර ය. මව යුරේෂා ලක්මාලි, මැදිරිගිරිය රෝහලේ සෞඛ්‍ය නිලධාරිනියකි. දරු දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දනුල්‍යා බහ තේරෙන වයසේ දී පටන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රූපවාහිනියෙන් දකින හැම වේලාවෙම සිනාසෙමින් නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන්නීය.

මේ ඉන්නේ ලංකාවේ මෛත්‍රී සීයා. මට බලන්න යන්න ඕනෑ කියමින් අප්පච්චිට ඇවිටිලි කරනවා. පසුගිය 10 දා උදේ රූපවාහිනිය බලනකොට අපේ අම්මා දුවට කියලා තිබෙනවා ජනාධිපති සීයා අද ‍මෙහෙ එනවා කියා යැයි මව ලක්මාලි කීවාය.

දැරියගේ පියා වන ආනන්ද බණ්ඩාර අමරසිංහ මහතා -

එදා උදේ වරුවේ ජනාධිපතිතුමා මිරිස්හේනට එන බව ආරංචි වුණා. අප්පච්චි මාත් එනවා මෛත්‍රී සීයා බලන්න, මාත් එක්ක යන්න ඇය කිහිප වතාවක්ම ඇවිටිලි කළා. මම දුව සමග මිරිස්සේනට ගියා. ඒ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා. මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා. මෛත්‍රී සීයා බලන්න ඕනෑ කියමින් දුව ඇවිටිලි කරන්න පටන් ගත්තා. අපිට වේදිකාව අසලට යන්න බැරි වුණා.

මම දුව බිම තැබුවා. ඇය සෙනඟ අතරින් රිංගාගෙන ගොස් වේදිකාව අසලට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එන්න ඉඩ දෙන්න කියා තිබුණා. ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩිවී සිටින අයුරුයි. පසුව දරුවා සමඟ ජනාධිපතිතුමා සතුටු සාමිචියේ යෙදී සිටියා. කලක සිටම ජනාධිපතිතුමා දැකබලා ගන්න දුවගේ ලොකු ආශාවක් තිබුණා. මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉටු වුණා. 

නව අදහස දක්වන්න