ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ලබන 5දා අරඹනවා | දිනමිණ

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ලබන 5දා අරඹනවා

රක්ෂණ ශ්‍රියන්ත
උත්සවයට පැමිණි සිටි ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් පිරිස. අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහි වෙති.

* ක්‍රීඩාවේ අනාගතය සාමුහිකත්වය මත ගොඩන­ැඟිය යුතුයි
* රජයට මෙන්ම පෞද්ගලික අංශයට අයත් වගා නොකරන සෑම ඉඩමක්ම ආහාර නිෂ්පාදන සංග්‍රාමයට
* ආහාර නිෂ්පාදනයට දිරි දෙන්න මහජන ආරක්ෂක පනතේ බලතල 3ක් ගැසට් කරනවා 
* මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මහවැලි ක්‍රීඩා උළෙලට පමණක් සීමා කරන්න එපා

මහවැලි ගොවියන් මෙන්ම සමස්ත ගොවි ජනතාවත් රටේම ජනතාවගේ දායකත්වයෙන් අවශ්‍ය ආහාර නිෂ්පාදනයට රජය ආරම්භ කිරීමට නියමිත ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ලබන ඔක්තෝබර් 5වන දිනට යෙදෙන පුන් පොහෝ දින ආගමික ආශිර්වාද මධ්‍යයේ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මහවැලි ක්‍රීඩා උළෙලට සීමා නොකර අඛණ්ඩව අවශ්‍ය පුහුණුවීම් සහ සම්පත් ලබාදීමට අදාළ සියලූ අංශවල වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ 29 වැනි මහවැලි ‍ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙල 29වන වරටත් පසුගිය 9 සහ 10 දෙදින පුරා පොළොන්නරුව ජාතික ක්‍රීඩාගණයේ දී පැවැත්විණි.

මහවැලි කලාප 10යෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් පමණ මෙම ක්‍රීඩා උළෙලට එක්ව සිටි අතර දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම මෙවර තරගාවලියේ නව වාර්තා 5ක් බිහි විය. 2018 මහවැලි ක්‍රීඩා උළෙල වලව කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩකයා ලෙස හුරුළුවැව කලාපයේ යූ.ආර්.ඩී. රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තේය.

එමෙන්ම මීටර් 400 දිවීමේ තරගය තත්ත්පර 56 කින් නිමාකර නව තරග වාර්තාවක් පිහිටුවමින් 2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වලව කලාපයේ නදීෂා රාමනායක ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තාය.

තරගාවලියේ සමස්ත ශූරතාව ලකුණු 82ක් ලබා ගනිමින් මහවැලි බී කලාපය දිනාගත් අතර අනුශූරතාව ලකුණු 63ක් ලබා ගනිමින් මහවැලි එච් කලාපය හිමිකරගත්තේය. තෙවන ස්ථානය වික්ටෝරියා කලාපය දිනා ගැනිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

සියලූ කලාප ඒකාබද්ධ වූ ක්‍රීඩා උළෙලක් ආරම්භ කළේ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිවරයායි. මේ අවස්ථාවේ මා විශේෂයෙන් එතුමා සිහිපත් කරනවා.

මේ වනතෙක් පවත්වා ඇති මහවැලි ක්‍රීඩා උළෙල අතරෙන් උළෙල 16මා ඇමැතිවරයෙක් විදියට සහභාගී වී තිබෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය සහ මහවැලි ක්‍රීඩා උළෙල පිළිබඳව මට දීර්ඝකාලීන අත්දැකීම් තිබෙනවා. අද මෙහි සිටින්නේ කලාප 10ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මහවැලි අධිකාරියේ තිබෙන පුරුද්දක් තමයි මහවැලි ක්‍රීඩා උළෙලට සූදානම්වන්නේ ජූනි ජූලි මාසවලයි. නමුත් ඒ තුළ අපි බලාපොරොත්තුවන අරමුණු ඉටුවනවා ද සිතිය යුතුයි.

මහවැලි කලාපවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදියට ඔබ මේ උළෙල පවත්වා සහතික සම්මාන ලබා උපහාර ගෞරව ලබනවා. ඔබ ක්‍රීඩා ක්ෂේත්‍රයට ඇළුම් කරනවා නම් දක්ෂකම් පෙන්වාලීමට හැකිනම් ඒ සඳහා කැපවීම අවශ්‍යයි. එය තවත් කෙනෙකුට දෙන්න බැහැ. ඉදිරියට යන්න නම් තමන්ට අධිෂ්ඨානය තිබිය යුතුයි. එය ක්‍රීඩාවට පමණක් සීමා වන්නේ නැහැ. මිනිසුන්ගේ ගති ලක්ෂණ ඇවතුම් පැවතුම් දක්ෂකම් නිර්මාණශීලීභාවය එක් එක් විෂයන්ට තිබෙන දැනුම අත්දැකීම් සමඟ තමන් ඇළුම්කරන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමන්ට අධිෂ්ඨානය තිබිය යුතුයි. ඒ තුළ අනෙක් අය ශක්තිය දේවි. මඟ පෙන්වාවි. අනුග්‍රහය දේවි.

ඉතාම සාර්ථකව පවත්වන මහවැලි ක්‍රීඩා උළෙලේ නිසි ප්‍රතිඵල ලබා ගන්නට නම් මේ ක්‍රීඩකයන් මෙතෙකින් නොනැවතී ජාතික මට්ටමටත් ජාත්‍යන්තර මට්ටමටත් යා යුතුයි. ඒ සඳහා දරිය ගන්න ඔබට මම සුබ පතනවා.

මේ දක්ෂකම් පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතනින් නොනවත්වා අඛණ්ඩ පුහුණුවීම්, අවශ්‍ය සම්පත් සහ මඟපෙන්වීම් ලබා දෙන්න කියා මහවැලි අධිකාරියේ ක්‍රීඩා අධ්‍යක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මම ඉල්ලීමක් කරනවා. සම්පත් වල කිසිඳු හිඟයක් තියන්න එපා. අවශ්‍ය සියලූ සම්පත් මේ දක්ෂ දරුවන්ට ලබා දෙන්න කියා ඇමතිවරයා විදියට මම පැහැදිලිව උපදෙස් දෙනවා. අවශ්‍ය සම්පත් සහ පුහුණුවීම් ලබා දුන්නොත් අපි බලාපොරොත්තු වන අරමුණු ඉටුකර ගන්න පුළුවන්.

ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් දක්ෂකම් පෙන්වන පිරිසක් හැදෙනවානම් ඒ අය ක්‍රීඩාවේ රඳවාගන්න නම් ඔවුන් සාමුහිකත්වය මත ගොඩනඟන්න ඕනෑ. එකම කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඕනෑ. ඒ සාමූහිකත්වය ක්‍රීඩා ක්ෂේත්‍රයට වගේම අපි ආරම්භ කර තිබෙන ජාතික මට්ටමේ ව්‍යාපෘතිවලට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතුකර ගන්න පුළුවන්.

ඉතාම වැදගත් කරුණක් වන්නේ ක්‍රීඩකයන් මත්ද්‍රව්‍යවලින් ඈත්කර තැබීමයි. සෑම කලාපයකම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි ආරම්භ කර තිබෙන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් සඳහා ඒ කලාපයේ නියමුවන් විදියට එකතු කරගන්න පුළුවන්. ක්‍රීඩකයෝ කියන්නේ පරිසරයට ආදරය කරන පිරිසක්. ඒ වගේම ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන සඳහා ඒ කලාපයේ නියමුවන් විදියට මේ ක්‍රීඩකයන් එකතුකර ගන්න පුළුවන්. එයින් ක්‍රීඩා ක්ෂේත්‍රය සහ අනෙකුත් අංශ පිළිබඳ උනන්දුවක් ඇතිවේවි.

මේ රටේ භූමියෙන් තුනෙන් එකක කොටසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ බල ප්‍රදේශයි. එම තුනෙන් එකක කොටස මේ රටේ ආදායම් උපදවන, ජාතික ආදායමට පුළුල් ශක්තියක් දෙන, කෘෂිකර්මාන්තය කරන ගොවි ජනතාව ඉන්න ප්‍රදේශයක්. පසුගිය කාලයේ රටේ නියඟගයක් ඇති වුණා. මෙතන සිටින වැඩි පිරිසක් ඒ නියඟය හේතුවෙන් පීඩා වින්ඳා. නමුත් දැන් තිබෙන කාලගුණික තත්ත්වය සමඟ මේ මාසයේ අග වනවිට වර්ෂාව ලැබේවි.

ආහාර නිෂ්පාදනයේ ඇති වූ පසු බැසීම, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ඇති වූ ප්‍රමාදයන් යටපත් කරගෙන වැසි සමඟ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න හැකිවේ යැයි අප විශ්වාස කරනවා. මේ වනවිටත් ඔක්තෝබර් 5 ත් 11ත් අතර දින 7 ජාතික කෘෂිකර්ම සතියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ඒ නිසායි. එම වැඩසටහනට ජාතික ගොවි සතියක්, ජාතික මහවැලි සතියක් ආදියත් ඇතුළත්. එක් එක් දින වෙන්කර ගනිමින් ආහාර නිෂ්පාදන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. මහවැලි අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සුළු වේලාවකට කලින් ඔක්තෝබර් 5වැනි දා පසළොස්වක පොහොය දවසක්. ඒ නිසා මේ වැඩසටහනට බාධාවක් වගේ නේද කියලා ඇහුවා.

ඒ නිසා මම යෝජනා කරනවා එදින පොහොය දවසක් නිසා අපි ආගමික වැඩසටහන්වලින් පටන්ගමු කියා. වෙනදා මෙවැනි වැඩසටහන් නිමා කළේ ආගමික වැඩසටහනකින්.

නමුත් මම හිතනවා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනටත් රටටත් ආශිර්වාදයක් විදියට ඔක්තෝබර් 5වැනි දා මුළු රටේම මහවැලි, අධ්‍යාපන, කෘෂිකර්ම, පරිසර, ධීවර ආදී ක්ෂේත්‍රත් කෘෂිකර්මාන්තයට අදාළ නොවන සියලූ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන අංශය ඒ සියලූ දෙනා ඒකාබද්ධ වූ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආගමික වැඩසටහන් මුල් කරගෙන ආරම්භ කළ යුතුයි කියා. බෝධි පූජා, පිරිත්, ආදිය පන්සලින් ද කෝවිල, පල්ලිය ආදියෙත් ආගමික වතාවන් සිදුකර මේ කටයුත්ත ආරම්භ කිරීම සුදුසුයි කියා මා අදහස් කරනවා.

පසුගිය නියං තත්ත්වයෙන් ඇති වූ ආර්ථීක අමාරුකම්. ආහාර නිෂ්පාදනයේ පසුබෑම් ආදිය නැවත සකස්කරගෙන ශක්තිමත් කෘෂි ආර්ථීකයක් සමඟ ගොවි ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දේශීය පරිභෝජනයට මෙන්ම විදේශයන්ට අපනයනය කිරීමට මේ ජාතික වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

දැනට වගා කරන භූමිය වගේම වෙනත් කාර්යයන් සඳහා වෙන් කළ එහෙත් කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන තිබෙන සෑම රජයේ ඉඩම් ද පෞද්ගලික අංශයට අයත් ඇතැම් වගා නොකරන ඉඩම් ද තිබෙන නීති රීති යටතේ ආහාර නිෂ්පාදන සංග්‍රාමයට යොදා ගැනීමට අපේක්ෂා කරනවා.

මම හිතන විදියට අලූත් නීති හදන්න අවශ්‍ය නැහැ. ආහාර නිෂ්පාදන වර්ධනයටත් අවශ්‍ය නම් පමණක් මහජන ආරක්ෂක පනතේ තිබෙන යම් යම් ඡේද පාවිච්චි කරන්න පුළුවන්. ආහාර නිෂ්පාදනය දිරිගන්වන්න මහජන ආරක්ෂක පනතේ තිබෙන බලතල තුනක් අපි ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා. වගා නොකරන සියලූම ඉඩම් වගා කළ යුතුයි. පුද්ගලික ඉඩම් යම් කෙනෙක් වගා නොකරන්නේ නම් වගා කිරීම සඳහා රජයට හෝ වෙනත් අයට තාවකාලිකව බාරදීමට තිබෙන නීති හොඳටම ප්‍රමාණවත්.

ඒ නිසා වගා නොකරන සෑම භූමියක්ම වගා කරන්න. වී, එළවළු, පලතුරු, අතිරේක භෝග, ධාන්‍ය ඒ සියල්ල වගා කරන්න අපට පුළුවන්කම තිබෙනවා. අතීතයේ මේ රට ශක්තමත් වුණේ කෘෂිකර්මාන්තය හේතුවෙන්. ඉදිරි වැසි කාලය සමඟ අපට නැවත අපේ අතීතයේ මෙන් කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කරන්න පුළුවන්. ඒ වැඩපිළිවෙළටත් ඔබ සියලූ දෙනාගේ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරුන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණු කරුවන් ප්‍රවීණයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව, පාසල් දු දරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය අංශය
සුදත් සිල්වා

නව අදහස දක්වන්න