බුදුසරණ පුවත්පතේ සීසර් සුදුසිංහ ගෞරව නාමයෙන් පිදුම් ලබයි | දිනමිණ

බුදුසරණ පුවත්පතේ සීසර් සුදුසිංහ ගෞරව නාමයෙන් පිදුම් ලබයි

අසේල කුරුළුවංශ
සීසර් සුදුසිංහ මහතාට බෞද්ධ පත්‍රකලා විශාරද ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය මල්වතු මහ නාහිමියන් විසින් පිරිනමනු ලැබූ අයුරු.

පුවත්පත් කලාවේදියකු ලෙස සීසර් සුදුසිංහ මහතා රටට ජාතියට හා ආගමට සුවිශාල සේවයක් කරන යහ ගුණය පතුරුවන පුද්ගලයකු බවත් ඔහුගේ එම උතුම් ගුණාංග අගයමින් මල්වතු මහවිහාර පාර්ශ්වය ඒ මහතාට ගෞරව නාමයක් පුද කිරීමට තීරණය කළ බවත් මල්වතු මහ විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,පොළොන්නරුව සෝමාවතී රජමහ විහාරස්ථානාධිපති පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

මහවිහාර වලින් ගෞරව නාමයක් ලැබීමේ වාසනාව හිමිවන්නේ අති ස්වල්ප දෙනකුට පමණක් බවත් මෙවැනි ගෞරවයක් ලබාදීමට පෙර අදාළ පුද්ගලයාගේ ජාතික,ආගමික හා සමාජීය සේවාව මෙන්ම යහපත් පැවැත්මද සැලකිල්ලට ගන්නා බවත් උන්වහන්සේ කීහ.

බුදුසරණ පුවත් පතේ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ මහතාට මල්වතු මහ විහාර පාර්ශ්වය මඟින් බෞද්ධ පත්‍රකලා විශාරද ගෞරව නාමය පිරිනැමීම වෙනුවෙන් පසුගියදා මල්වතු මහවිහාරීය මංගල උපෝෂිතාගාරයේ දී පැවැති උත්සවයේදී සුමංගල හිමියෝ මේ බව පැවසූහ.

සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ තීරණයකට අනුව සීසර් සුදුසිංහ මහතාට මේ ගෞරව නාමය පිරිනැමිණි.මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝසභිත හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී ගෞරව නාමය පිරිනැමීමට අදාළ සන්නස් පත්‍රය නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූහ.අනතුරුව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සුරතින් අදාළ ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය සුදුසිංහ මහතාට ලබා දුන්හ.

අනතුරුව අදහස් දැක්වූ උන්වහන්සේ සුදුසිංහ මහතා බුදුසරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසත් වර්තමානයේ එහි උපදේශක කර්තෘ ලෙසත් සිදුකරන සේවාව මහසංඝරත්නයේ ඉමහත් පැසසුමට ලක්ව තිබෙන බවත් සමාජ යහපත පිණිස සිය පෑන මෙහෙයවමින් චරිතවත් ජීවිතයක් ගතකරන ඒ මහතාට මේ ගෞරව නාමය පුද කිරීම සම්බන්ධව මල්වතු මහවිහාරය සතුටට පත්වන බවද නියෝජ්‍යය ලේඛකාධිකාරී හිමියෝ කීහ.

මලවතු මහ විහාර පාර්ශ්වයේ සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන අත්තනගල්ල රජමහ විහාරාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමියෝ අනුශාසනාවක් කරමින් මේ ගෞරව නාමය ලැබීමට සුදුසිංහ මහතා සෑම අතින්ම සුදුසු බවත් මල්වතු මහ විහාරය මඟින් පිරිනමන මේ ගෞරව නාමය ලැබීමට අවස්ථාව ලැබීම ගිහියකුගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක් බවත් ප්‍රකාශ කළහ.

කීර්තිමත් ඉතිහාසයක් ඇති ලේක් හවුස් ආයතනය මඟින් නිකුත් කරන පුවත් පත් මඟින් මහජනතාවට අති විශිෂ්ට සේවාවක් සිදුකෙරෙන බවත් බෞද්ධ ධර්මය පිළිබඳ දැනුම අවබෝධය පුළුල් කිරීම උදෙසා බුදුසරණ පුවත්පත අඩසියවසක කාලයක් පුරා සිදුකරන සේවය ගිහිපැවිදි දෙපාර්ශ්වයේම ඇගයුමට ලක්වන බවත් කී උන්වහන්සේ තරුණ භික්ෂූන්ගේ ධරමඥානය පුළුල් කිරීම උදෙසා සුදුසිංහ මහතා හරවත් ලිපි පුවත්පතට ගෙන ඒමට නිතර උත්සහ කරන බවද අවධාරණය කළේය.

ජාතික හා ආගමික සංහිඳියාව යන්න මෑත භාගයේ වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් බවත් ජාති හා ආගම් අතර සංහිඳියාව ගොඩනැගීමට ලේක්හවුස් පුවත්පත් සිදුකරන මෙහෙවර අගය කරන බවත් පන්නිල ශ්‍රී ආනන්ද හිමියෝ පැවසූහ.

සුදුසිංහ මහතා ගුණ නැණ දෙකෙන් පොහොසත් අයෙකු බවත් ඔහු බුදුසරණ පුවත්පත පාඨකයා අතර ජනප්‍රිය කරවීමට මහත් කැපවීමෙන් සේවය කරන අයෙකු බවත් කී උන්වහන්සේ මේ අවස්ථාව සුදුසිංහ මහතාට මෙන්ම ඔහු සේවය කරන ලේක්හවුස් ආයතනයටද සුවිශේෂී වන බවද ප්‍රකාශ කළහ.

ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා-

ලේක් හවුස් ආයතනය මඟින් සතිපතා පලකරන බුදුසරණ පුවත්පත වර්ෂ 1965 සිට අඛන්ඩව සතිපතා නිකුත් කෙරෙන බවත් එයට ජීවයක් ලබා දීමට සීසර් සුදුසිංහ මහතා මහත්වූ කැපවීමෙන් සේවය කරන බවත් පැවසුවේය.

බුදුන් දේශනා කළ ධර්ම කරුණු විකෘති නොකර නියම බුදුදහම පිළිබඳ දැනුම අවබෝධය පුළුල් කර ගැනීමට අවශ්‍යය සාරගර්භ ලිපි වලින් පුවත්පත පෝෂණය වන බවද ඒ මහතා කීය.

ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ධර්ම කරුණු ඇතුළත් පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීමේදී ගැඹුරු ධර්ම කරුණු ඇසුරින් සාමාන්‍ය පාඨකයාට ගැලපෙන ලෙස සරලව ඒවා ඉදිරිපත් කිරීමට කර්තෘවරයාට අදාළ විෂය පිළිබඳව පුළුල් දැනුමක් හා අවබෝධයක් තිබිය යුතු බවත් සීසර් සුදුසිංහ මහතා පසුගිය කාලය පුරා එම කුසලතාව පෙන්වා තිබෙන බවත් පැවසුවේය.

ලේක්හවුස් ආයතනය මෙරට බෞද්ධ පුණර්ජීවනය උදෙසා සුවිශාල වැඩකොටසක් සිදුකරන බවත් මිහින්තලා ආලෝක පූජාව සෑම වර්ෂයකම පොසොන් පොහෝ දින සිදුකරන්නේ ලේක් හවුස් ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ බවත් අමරදාස මහතා කීය.

මිහින්තලා පොසොන් ආලෝක පූජව සිදුකළ දින 1965 වසරේදී රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පියසේන නිශ්ශංක මහතාගේ කර්තෘත්වයෙන් බුදුසරණ පුවත්පත ආරම්භවූ බවත් අද වනවිට මෙරට ජනප්‍රියම බෞද්ධ පුවත්පත බවට බුදුසරණ පුවත්පත පත්ව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරීවරුන් වන නාරද සුමනරත්න,සුභාෂ් කරුණාරත්න,ලාල් පෙරේරා,බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ,රද්දොළුගම බෞද්ධ සංගමයේ සභාපති රේණුක අබේසිංහ යන මහත්ම මහත්මීන්ද බුදුසරණ පුවත්පතේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද,ලේක් හවුස් බෞද්ධ සංගමයේ සාමාජිකයන්ද,සුදුසිංහ මහතාගේ පවුලේ සාමාජිකයන්ද ඇතුළුව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ගාමීණී රණසිංහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...