රටේ අනාගතය රඳාපවතින්නේ නවෝත්පාදන හා පර්යේෂණ මතයි | දිනමිණ

රටේ අනාගතය රඳාපවතින්නේ නවෝත්පාදන හා පර්යේෂණ මතයි

ශිරෝමි අබයසිංහ

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය නව්‍යකරණය සඳහා වන යෝජනාවක් උප කුලපතිවරයා මා හට ලබා දුන්නා : මා රජය පැත්තෙන් ඊට මුදල් ලබා දෙන්නම්
* නැ‍නෝ තාක්ෂණ ව්‍යාපෘතිය පුද්ගලික ක්ෂේත්‍රය සමඟ හොඳින් සිදු වෙන අතර ජපාන‍යේ සකුරා වැඩසටහනට එක්වී නවෝත්පාදන සිදු කිරීමට අප සාකච්ජා කළා

රටේ අනාගතය රඳා පවතින්නේ නවෝත්පාදන සහ පර්යේෂණ මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජාතික රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන වැඩ පිළිවෙල යටතේ ජාත්‍යන්තර සහ‍යෝගය ලබාගනිමින් නවෝත්පාදන හා පර්යේෂණවලට අනුග්‍රහය දක්වමින් සංවර්ධන ඉලක්ක සාක්ෂාත්කරගැනීමට නිවැරදි මාර්ගයේ ගමන් කරනා බවද අගමැති වික්‍රමසිංහ මහතා පැවැසිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‍ මේ බව සඳහන් කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු පීඨය සිව් වැනි වරටත් සංවිධානය කළ විදුලි සහ විද්‍යුත් පර්යේෂණ සහ නව්‍යකරණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පසුගිය 7දා මෙම සමුළුව පැවත්විණි.

පේරාදෙණිය සිසුන්ගේ නිර්මාණ ඇතුළත් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු ප්‍රදර්ශනය නැරඹීමටද අගමැතිවරයා එක්විය.

මහාචාර්ය ඩී.එන්. උඩුවාවල මහතා මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීය.

එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ‍මගේ පවතින සම්බන්ධතාවය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු මගේ සීයාගේ කාලයේ සිට පැවතෙන්නක්.

විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඉඳි වූ මෙම විශ්ව විද්‍යාලය ඉතා අලංකාරයි. එහෙත් මා නීතීය හැදෑරීමට තීරණය කළ නිසා මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වුණා. නීති පීඨ‍ය කොළඹ විශ්ව විද්‍යාලයට ගෙන යනු ලැබු නිසා මට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වීමේ අවස්ථාව ලැබුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට ගෙන ආ එකම පීඨය නීතී පීඨයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නව්‍යකරණය කිරිම සඳහා වන යෝජනාවක් උප කුලපතිවරයා විසින් මා හට ලබා දුන්නා. එහි වෛද්‍ය විද්‍යාව, ජිව විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ගණිතය, කෘෂි කර්මය සහ කලා ක්ෂේත්‍රය තුල යෝජනා ඇතුළත් වෙනවා. සමාජ විද්‍යාව පිළිබඳව එහි ඇතුළත් නොකළේ ඇයිදැයි මා දන්නේ නැහැ.

යෝජනාව ඉදිරිපත් කිරීමේ ඔබේ කොටස ඔබ සිදු කර තිබෙනවා. මා රජය පැත්තෙන් ඔබට මුදල් ලබා දෙන්නම්. ඉතිරිය පෞද්ගලික අංශයෙන් ලබා ගනිමු. අප දෙපිරිසම එක්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිධාරීන් බිහි කරමු.එය ගැටලුවක් වන එකක් නැහැ. එය වානිජමය නවෝත්පාදන නිෂ්පාදනයක් වනු ඇත.

අපේ අනාගතය රඳා පවතින්නේ ‍නවෝත්පාදන සහ පර්යේෂණ මතයි. එය ගෝලිය වශයෙන්ද එසේ වනු ඇති.2030 වන විට විශාලතම ආර්ථිකය සමහර විට චීනයේ විය හැකියි. ‍එහෙත් ඔවුන් තවදුරටත් සමහර නවෝත්පාදන සහ තාක්ෂණයෙන් සන්නද්ධ විය යුතුයි. එම රටට විශාල පිරිසක් ගෙන්වා ගැනිමට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඒ නිසයි.

අද ආසියාවේ ජාතික සම්පත් නොමැති රටවල් පවා ප්‍රධාන කර්මාන්තවලට විදේශ ආයෝජකයින්ට රට විවෘත කළා. යුරෝපය ඒ නිෂ්පාදන මිලදී ගන්නවා. ජපානය, චීනය, සහ දකුණු කොරියාව යන රටවල් ඉදිරියෙන් සිටිනවා. නවෝත්පාදන මගින් ඉන්දියාව ප්‍රමුඛත්වය ගන්නවා.

අනාගත මාර්ගය වැටි ඇත්තේ නවෝත්පාදන මතයි. අපට යටිතල පහසුකම් තිබෙනවා. කර්මාන්ත තිබෙනවා. නිෂ්පාදන තිබෙනවා. නුවරින් ආරම්භ කරන නව තීරය වයඹ හරහා නගර සංවර්ධනය ගාල්ල දක්වා දිවෙනවා. එසේම වැල්ලවායේ සිට හම්බන්තොට දක්වා දිවෙනවා. මෙය එකම විශාල තීරයක්.

මීට අමතරව අපේ සැලැස්ම වන්නේ ත්‍රිකුණාමලය සහ ඒ අවට ප්‍රදේශ සංවර්ධනයයි. අප ඉහත සියල්ල එහි ස්ථාපිත කරනවා. දැන් එය ආරම්භ කළ යුතු වෙනවා.

2030 වන විට අපි සිටින්නේ කොහේද? අපේ එකම මාර්ගය වන්නේ නිෂ්පාදනයයි. හෝටල් කර්මාන්තයද සමගාමීව දියුණු කළ යුතුයි. 2030 වන විට රොබෝවරුන්ද සේවා සපයාවි.

2030 වන විට ඉරානය, නැගෙනහිර අප්‍රිකාව, පකිස්තානය, ඉන්දියාව, බංග්ලා‍දේශය, මැ‍ලේසියාව, තායිලන්තය,ඉන්දුනිසියාව, වියට්නාමය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ලොව ආර්ථික ප්‍රමුඛයින් විය හැකියි.

නවෝත්පාදන ඉලක්ක කර ගන්නා ඔබගේ ජිවිතය වඩාත් පහසු වේවි.

විද්‍යා සහ තාක්ෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්

සීමිත අයවැයක් යටතේ විශාල වැඩ කොටසක් සිදුකරනු ලබනවා.

නැ‍නෝ තාක්ෂණ ව්‍යාපෘතිය පුද්ගලික ක්ෂේත්‍රය සමඟ හොඳින් සිදු වෙන අතර ජපාන‍යේ සකුරා වැඩසටහන සමග නවෝත්පාදන සිදු කිරීමට අප සාකච්ජා කළා.

අමෙරිකානු විශ්වවිද්‍යාලයක් මගින් ශ්‍රී ලංකාවේ ඔවුනගේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති කිරීමට සාකච්ජා කර තිබෙනවා. මේ සඳහා ගම්පහ ඉඩමක් වෙන් කර තිබෙනවා. ඉන්පසු අප අවධානය යොමු කරන්නේ මහනුවරටයි.

ජපානය මේ සඳහා උදව් කරනවා. කර්මාන්ත නගරයක් ඉඳි කිරිමටත් විද්‍යා සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති කිරිමටත් ජපානයට අවශ්‍ය වී තිබෙනවා.

මෙය ආරම්භයයි. මෙය කදිමයි කියා ඔබ සිතනවා ඇති. නමුත් මට නම් මෙය ප්‍රමාණවත් නැහැ. අපට තවත් බොහෝ දේ කිරිමට තිබෙනවා.

අප උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දෙන්නේ ඔවුන් නවෝත්පාදන සඳහා යොමු කිරිමටයි. සියලුම සිසුන්ට වසර 13 ක පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍යයි. අධ්‍යාපන ඇමතිවරයා ඒ සඳහා දැඩි වෙහෙසක් ගන්නවා.

හැම දෙනාම උසස් අධ්‍යාපනයක් ලැබිය යුතුයි. තමන් දක්ෂ දෙයින් ඉදිරියට යාමට අවස්ථාව ලබා දිය යුතුයි. වඩු කර්මාන්තය, නැටුම් සහ සංගීතය දක්ෂ නම් පාසැලේ රැඳී සිටිමින් ඉදිරියට යා හැකියි. එසේම උසස් ද්විතිය වෘත්තිය අධ්‍යාපනය හරහා ඉංජිනේරුවන් ඩිප්ලෝමාධාරින් ලෙස වෘත්තිය සහතික පත් ලබා ගත හැකියි. අවසා‍නයේ ඔබට නවෝත්පාදකයෙක් විය හැකියි.

කෘෂි කර්මාන්තය දෙස බලමු. විවිධ පැති තිබෙනවා. රජරට ශිෂ්ටාචාරය ඉතා විශිෂ්ටයි. අපේ රටේ දාගැබ් ඉඳි කිරී‍ම් දෙස බලන්න. ඒවා සම්පුර්ණයෙන්ම ඉංජිනේරු ක්‍රියා දාමයන්. අප නැවත ආපසු එතැනට නොයන්නේ ඇයි? නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය සියල්ල අනාගත මාර්ගයයි.

පේරාදෙණිය නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කරමු. අප අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඔබට සිදු කිරිමට ඇත්තේ එක්ව ගමන් කිරිමයි.මතක තබා ගන්න. අනාගතය වන්නේ නවෝත්පාදනය සහ පර්යේෂණයයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති උපුල් දිසානායක මහතා:

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් පීඨය කිසිම විශ්ව විද්‍යාලයක එම පීඨයට දෙවැනි වෙන්නේ නැහැ. මෙම ප්‍රදර්ශනය අපේ හැකියාවන් පෙන්නුම් කරන අවස්ථාවක්. අප නොම්මර එකේ විශ්වවිද්‍යාලය බවට පත්ව සිටිනවා. මේ ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ අධ්‍යාපනික සහ කර්මාන්ත රැකියා වෙළඳ පොළ සහ අපේ විෂය නිර්දේශයේ අවශ්‍යතාවයයි. අපේ අනෙක් අරමුණ රටේ සංවර්ධනයට දායක වීමයි.

එල්.ටි.එල්. හෝල්ඩින්ස් සමාගමේ යූ.ඩී.ජයවර්ධන මහතා

තරුණ උපාධිධාරීන් නව සොයා ගැනිම් සිදු කරන්නේ නැහැ. වර්තමාන තත්ත්වය අනුව උගන්වන්නේ උගතෙකු වීමට පමණයි.

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිවරයාව සිටියදි ඉදිරිපත් කළ ධවල පත්‍රිකා‍ව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ලැබුණේ නැහැ. අප අනවශ්‍ය උපාධිධාරින් බිහි කරමින් සිටිනවා. ඉන්දියාවේ බස් කොන්දොස්තරවරුන් ලෙස සේවය කරන වෛද්‍යවරුන් සිටිනවා. අපේ රටේ එසේ වීමට ඉඩ දිය යුතු නැහැ.

මේ අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

ජායාරූප- සුදත් නිශාන්ත 

නව අදහස දක්වන්න