ලලිත් අනූෂ හිරේ යෑම සහ රාජ්‍ය සේවයේ අනාගතය | දිනමිණ

ලලිත් අනූෂ හිරේ යෑම සහ රාජ්‍ය සේවයේ අනාගතය

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් දෙදෙනෙකු සිරගෙට යැවූ නඩු තීන්දුව පිළිබඳ විග්‍රහයන් බොහෝය. ‍ලලිත් අනූෂ නඩු තීන්දුවෙන් රාජ්‍ය සේවය කම්පා වූ බව උදය ගම්මන්පිල කීය. ආචාර්ය නලින් සිල්වා සිල් රෙදි බෙදුවේ කා වෙනුවෙන්ද කියා අසා තිබිණ. රෙදි බෙදුවේ කා වෙනුවෙන්ද කියා ආචාර්ය නලින් සිල්වා දන්නේම නැත. හෙල්පින් හම්බන්තොට නඩුවෙන් ලලිත් වීරතුංග වැරදිකරු වුණා නම් රෙදි බෙදීමක් සිද්ධ වෙන්නේ හෝ අනූෂ පැල්පිට හිරේ යන්නේ නැත. එසේ ම මහින්ද රාජපක්ෂ පවා යමක් ඉගෙන ගන්න ඉඩ තිබිණ. හෙල්පින් හම්බන්තොට නඩුව නොපිට පෙරළා ඒ ඓතිහාසික වරද සිදුකළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

මහින්දලාගේ දූෂණවලට සම්බන්ධ වූ අය ඒඩ්ස් රෝගීන් වාගේය. ඇසුරු කළ අය පවා විනාස වේ. හරියට අනූෂ පැල්පිට හිරේ ගියා වාගේය. මහාධිකරණයේ අධිචෝදනා නඟා සිටි අනූෂ පැල්පිට අතිරේක ලේකම් කෙනෙකු කිරීමට යහපාලන ආණ්ඩුවටත් උවමනා වී තිබිණ. එය වැළකී ගියේ සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය නිසා ය.

පිලිප් ශාන්ත නම් ස්වාධීන ලේඛකයාට අනුව අනූෂ පැල්පිට යනු විශිෂ්ට දක්ෂතා පෙන්වූ රාජ්‍ය නිලධාරියෙකි. අනූෂට පැවති ස්මරණ ශක්තිය නිර්මාණාත්මක හපන්කම් ආදී බොහෝ කරුණු පිලිප් ශාන්ත සිද්ධි අනු සිද්ධි උපුටා දක්වමින් සමබරව විස්තර කරයි. වසර 40 කින් එපිට ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගත් සියයට 90 ක්ම ආධුනිකයන් පවා පිලිප් ශාන්ත, අනූෂ පැල්පිට හරහා දකින දක්ෂතාවන් ප්‍රදර්ශනය කළහ.

එහෙත් ගෙවී ගිය ආසන්න වසර 40 ක පරිපාලන නිලධාරීන්ගේ තත්ත්වය ඊට වෙනස් ය. ලංකා සිවිල් සේවයේ අනුප්‍රාප්තිය ශ්‍රී ලංකා පරිපාලන සේවය විය. 1965 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට සිවිල් නිලධාරීන්ගේ ආභාෂය මුසු විය. එහෙත් 1973 සහ 1978 ජනරජ ව්‍යවස්ථා හරහා රාජ්‍ය සේවා කොමිසම නපුංසක තත්ත්වයට පත් විය. අප මේ අත්දකින්නේ එහි එහි අනිටු ප්‍රතිඵලයි.

මේ සාරාංශ කිරීම හරහා ලලිත් අනූෂ හිරේ යා‍ෙම් මුළු වගකීම මහින්ද රාජපක්ෂට බැර කළ යුතු නැත. හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව දුන්නේ කුප්‍රකට සරත් නන්ද සිල්වා විසිනි. පසුව ඔහු එකී තීන්දුව වමාරාකමින් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. මෙයින් හැ‍ඟෙන්නේ ජනරජකරණය නිසා ලංකාවේ රාජ්‍ය සේවයට සිද්ධ වූ දේ විධායක පාලනය හරහා අපේ අධිකරණයට ද සිද්ධව තිබුණ බවය.

සරත් නන්ද සිල්වා වැරදි තීන්දුවක් දුන්නේ ද, එහි වගකීම භාරගත්තේ ද දේශපාලන හේතු නිසාය. පරිපාලන සේවා නිලධාරීන් ස්වාර්ථය පිණිස නොකළ යුතු බොහෝ දේ කළහ. එහෙත් ඔවුන්ට එසේ නොකර සිටීමේ හැකියාව අදටත් පවතී.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලේකම් නිමල් බෝපගේ රවී කරුණානායකගේ මෝටර් රථ යෝජනාව අනුමත නො කිරීම ඊට නිදර්ශනයකි. තමන්ට කළ හැකි දේ සහ නොකළ දේ තේරුම් ගෙන ක්‍රියා කළ රාජ්‍ය නිලධාරීහු අදටත් සිටිති. එහෙත් ඔවුන් සිටින්නේ කනිෂ්ඨ තනතුරුවලය.

සාමාජික හේතු මත පුත්තලම දිසාපති ධුරයට බෞද්ධ නිලධාරියකු පත් කිරීම රාජ්‍ය පරිපාලනය චිරාත් කාලයක් අනුගමනය කළ සම්ප්‍රදායකි. එහෙත් මහින්ද රාජපක්ෂ විසින් එකී සම්ප්‍රදාය මුල්වරට බිඳ ක්‍රිස්තු ලබ්ධික නිලධාරියෙකු පුත්තලම දිසාපති ලෙස පත් කළේය.

ඒ සැලකිල්ල ලැබූ නිලධාරියා මහින්ද රාජපක්ෂගේ දාසයෙකු වීම වැළැක්විය හැකි ද? තුන් වසරකින් යා යුතු ස්ථාන මාරුව දේශපාලනඥයෙකු ලවා වෙනස් කර ගත් විට ඉතිරි වන්නේ වහලෙකු මිස රාජ්‍ය සේවකයෙකු නොවේ.

පස් වසරකින් භාරදිය යුතු සමහර රජයේ නිල නිවාස සමහර රාජ්‍ය නිලධාරීන්ට සින්නක්කර අයිතියට ලබාදීම නිසා රාජ්‍ය සේවය ගස් බැඳිණ. එවැනි වාසි නිසා රාජ්‍ය නිලධාරීන් හැසිරෙන්නේ දාසයන් ලෙසය. ලලිත්ලා, අනූෂලා වැඩ කළේ අන්න එහෙමය. ටයි කෝට්වලින් සැරසී උසාවියට ඇතුල්වූ ලලිත්ලා, අනූෂලා පිටවුණේ මාංචුවලිනි. එය දුටු රාජ්‍ය සේවයම ගම්මන්පිල කී පරිදි කම්පා වුණාට සැක නැත. ගම්මන්පිල අද සටන් කරන්නේ සිදුවූ වැරදි නිවැරදි කිරීමට නොවේ. මහින්දට රට භාරදීමටය.

ඔව්හු මේ වන විට හොර ලෙඩ ගෙන රෝගී ඇඳන්වල සැතපී සිටිති. ඒ ටික සිද්ධ වුණේ ජනවාරි පෙරළිය නිසාය. කළ යුත්තේ ජනවාරි පෙරළියට සාප කිරීම නොවේ. ටයි කෝට්කාරයන් ලවා සොරකම් කරවා ඡන්ද දිනා ගැනීමට තැත් කළ දේශපාලකයන්ට සාප කිරීමය.

මෙවැනි රාජ්‍ය නිලධාරීන්ගේ අඹු දරුවන් සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? ගිහි සමාජයට පස්පව් ආදීනව කියා දෙන බෞද්ධ භික්ෂූන් පවා යුද්ධය දිනූ නිසා මහින්ද හොරකම් කළාට කමක් නැත කියන්නට පෙළඹී සිටිති. එය රටේ කරුමය මිස වාසනාව නොවේ. අද කළ යුත්තේ රාජ්‍ය සේවය නිදහස් කිරීමය.

රාජ්‍ය සේවකයා සිය ශක්තිය, බලය නිවැරදිව රට වෙනුවෙන් පාවිච්චි කිරීමය. මහින්ද නිසා හිරේ යන ලලිත් වීරතුංගලා, අනූෂ පැල්පිටලා ඉතිහාසය නම් වීරයන් කරන්නේ නැත. වාසියට ඕනෑම දෙයක් කිරීමේ අගතියෙන් රාජ්‍ය සේවය මුදාගැනීමට මේ නඩු තීන්දුව පමණක් ප්‍රමාණවත්ය.

ගවේෂක

නව අදහස දක්වන්න