රණවිරුවන් ගැන ජනපතිගේ ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර තිබෙනවා | දිනමිණ

රණවිරුවන් ගැන ජනපතිගේ ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර තිබෙනවා

ස්වර්ණා විජේකෝන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (12 ) පක්ෂ මුලස්ථානයේදී පැවැති අතර එහිදි තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අදහස් දක්වන අයුරු

වීරෝදාර රණවිරුවන් සම්බන්ධයෙන් තම ස්ථාවරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටට හා ජාත්‍යන්තරයට සෘජුව ප්‍රකාශ කර ඇති බැවින් අන් අය සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නා අතර රණවිරුවන් සම්බන්ධයෙන් තම මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරයේදීත් ප්‍රකාශ කළ බවත් ශාන්ත බන්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා :-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරුවා. එම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තරුණ, කාන්තා වැඩිහිටි විශාල පිරිසක් සහභාගී වුණා. මෙවර සම්මේලනය වෙනුවෙන් තරුණ සහභාගීත්වයේ වර්ධනයක් තිබෙනවා. ඇත්තටම එය අපගේ සතුටට කරුණක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි ජනතා විශ්වාසය හා සුහදතාව තහවුරු වී ඇති බව අපගේ මෙවර සංවත්සරයෙන්ම පේනවා. මීට පෙර පැවැති එකම සම්මේලනයකටත් වඩා වැඩි ජන සහභාගීත්වයක් මෙවර සිදු වුණා. එමෙන්ම අපගේ සංවත්සරය වෙනුවෙන් වෙනත් දේශපාලන පක්ෂ 42ක දේශපාලන නියෝජිතයන් සහභාගි වුණා. ඇත්තටම ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි ආකාරයට දේශපාලන පක්ෂවල සහභාගීත්වයක් සිදුවී නැහැ. එයින්ද පැහැදිලි වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි පවතින විශ්වාසයයි.

සමහර අය පසුගිය කාලේ චෝදනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද බෝඩ් ලෑල්ලක් විතරයි කියලා. නමුත් එහෙම කියපු අයට මම කියනවා, අදවනවිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවෙන බව පවසමින් ඇතැම් අය ගම් මට්ටමට ගිහිල්ලා පොහොට්ටුවට හරි වෙන යම් පක්ෂවලට හරි සෙනඟ බඳවා ගන්නට උත්සාහ කරනවා. නමුත් ඒවා සාර්ථක වන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ගතවූ කාලය තුළ ප්‍රධාන උත්සව 7ක් පැවැත්වූවා. මැයි රැලි තුනක්, පක්ෂ සංවත්සර තුනක් හා තරුණ සම්මේලන එකක් ගතවූ කාලය තුළ අපි පැවැත්වූවා. ඒ හැම එකකින්ම තහවුරු වුණා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සිටින්නේ කා සමඟද යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මෙම පිරිස උත්සාහ කරන්නේ වෙනත් පක්ෂයකට බලය ලබාදීමට උත්සාහ දැරීමයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්විම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත මේ වනවිට සම්මතවී අවසන්. ඒ අනුව මැතිවරණය පැවැත්වීමට හැකි නෛතික වාතාවරණය දැන් තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය අපට කරන තවත් චෝදනාවක් තමයි, අපි එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක සිටීම යන කරුණ. නමුත් අපි ජාතික ආණ්ඩුවට යාම වෙනුවෙන් තීන්දුව ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ගත් තීන්දුවක් ලෙසයි.

ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හැකිවීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ රටතුළ සිදුවූ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කමක්. නමුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනයේදී තරුණ නියෝජනයට අසාධාරණයක් සිදුව තිබෙනවා. තරුණ නියෝජනය සඳහා සියයට හතලිහක ප්‍රතිශතයක් තිබුණා. නමුත් එය මෙවර අඩුවී තිබෙනවා. ඇත්තටම තරුණ නියෝජනය ලැබුණේ නිකම්ම නෙවෙයි. 1981 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත අනුව තරුණ නියෝජනය සියයට හතලිහ ලැබුණේ හේතු රැසක් ඇතිවයි. අපේ රට තරුණ කැරළි ගණනාවක් ඇතිවූ රටක්. ඒ නිසා තරුණ අසහනයටත් එක් විකල්පයක් ලෙස මෙය දක්වා තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරුණ නියෝජනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් හඬ නැඟුවේ නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණවලදී මෙතෙක් පැවැති තරුණ නියෝජනය අහිමි වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණවලට ඉදිරිපත් වන අය වෙනුවෙන් සියයට තිහක නියෝජනයක් ලබාදීමට අපගේ පක්ෂය තීරණය කර තිබෙනවා. එය අපි මෙවර පක්ෂ සංවත්සරයේදීත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා.

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අයගෙන් සියයට තිහක් වෙනුවෙන් තරුණ නියෝජනය හිමි වෙනවා. ඒ වගේම අද රට නිවැරදි දිශාවකට ගමන් කරනවා. වැරදි කරපු හා වැරදි අනාවරණය සිදුවන සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජනතාවට ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ඒ වගේම දේශපාලකයෝ වගේම රාජ්‍ය නිලධාරින්ද වැරදි කරන්නට බය වෙනවා. දේශපාලකයින් කවර තීන්දු තීරණ ගත්තත් මූල්‍ය පාලනයේ වගකීම තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට.

රටේ ජාතික ආරක්ෂාව හා වෙනයම් කාරණා සම්බන්ධයෙන් විවිධ අය සිදුකරන ප්‍රකාශ පදනම් කරගනිමින් විවිධ ප්‍රකාශ සිදුකෙරෙනවා. නමුත් කවුරු මොන ප්‍රකාශ කළත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයායි. එතුමා ජනාධිපතිවරයා වගේම රටේ සේනාධිනායකයායි. සේනාධිනායක ලෙස ජනාධිපතිවරයා ලබාදෙන තීන්දු තීරණයි ත්‍රිවිධ හමුදාපතිවරු ක්‍රියාවට නංවන්නේත්. ඒ නිසා කවුරු මොන ප්‍රකාශ කළත් ඒවා ගැන කලබල වීම අනවශ්‍යයි. මොකද රණවිරුවන් සම්බන්ධයෙන්, මේ රට යුද්ධයෙන් නිදහස් කරගැනීම සඳහා දායක වූ සියලු රණවිරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය මතය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා කව්රු මොන ප්‍රකාශ කළත් අපි කලබල වියයුතු නැහැ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ කළුතර දිස්ත්‍රීක් සංවිධායක අසංක එදිරිවීර, මාධ්‍ය සම්බන්ධිකාරක ලකිඳු ගජසෙන් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

ඡායාරූපය - කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න