රණවිරුවන් ආරක්ෂා කිරීමේ වගකීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව බාර ගන්නවා | දිනමිණ

රණවිරුවන් ආරක්ෂා කිරීමේ වගකීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව බාර ගන්නවා

චන්ද්‍රිකා පෙරේරා

ත්‍රස්තවාදය අවසන් කිරීමට උරදුන් ඉහළ නිලධාරීයාගේ සිට පහල සෙබළා දක්වා සියලු රණවිරුවන් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව බාරගන්නා බවට සහතික වන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා පැවසීය.

පොලිසිය හා රණවිරුවන් අතර ගැටුම් ඇතිකරන කොන්ත්‍රාත්කරුවන්ගෙන් රණවිරුවන් බේරා ගැනීමට සිදුව තිබෙන බවද පෙන්වා දුන්නේ ය.

කන්තලේ අනවසරයෙන් වගාකළ ගොවීන් සාර්ථක වී තිබෙන බවත් ඒ අයට දඬුවම් ලබා නොදෙන ලෙස දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසූ අතර ජලය වැඩි ප්‍රමාණයක් වැව් අමුණුවල රඳවා ගනිමින් භූගත ජලය ආරක්ෂාකර ගැනීමටත් නියඟයකට මුහුණ දීමට හැකි පරිසරයක් සැකසීමටත් කටයුතු කරන බව අවධාරණය කෙළේය.

කොළඹ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ඇමැති විජයමුනි සොයිසා මහතා එම අදහස් පළ කෙළේය.

එහිදී ඇමතිවරයා මෙසේ ද කීය.

රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින වීරයන් බොහෝ දෙනෙක් අද ඉදිරිපත්ව සිටිනවා. ත්‍රස්තවාදය අවසන්කළ රණවිරුවන්ට මෙන්ම ඊට නායකත්වය දුන් අයට ගෞරවය මෙන්ම ස්තුතිය හිමිවිය යුතුයි. භාර්යාවන්ට සිය සැමියා දරුවන්ට තම පියා. දෙමාපියනට තම දරුවා රට රැකගැනීමට ගොස් අහිමි වුණා. ඒ අය සිය සහෝදරයා සැමියා දරුවා පියා දැය වෙනුවෙන් පූජාකළා. බොහෝ දෙනක් ආබාධිත වුණා.

දැය වෙනුවෙන් කටයුතු කළ මේ රණවිරුවන් නිලධාරීයාගේ සිට සොල්දාදුවා දක්වා ඉහළ සිට පහළට සියලු දෙනා ආරක්ෂාකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වුණා. ජනාධිපති සමඟ මේ ආණ්ඩුව ඒ අය ආරක්ෂා කරනවා. කිසිම බලවේගයකට, කෙනකුට මේ රණවිරුවන්ට අත තියන්න දෙන්නෙ නැහැ කියන සහතිකය දෙනවා. ඒ වගකීම රජය බාරගන්නවා.

ආබාධික රණවිරුවන්ට එළව එළවා පහරදීම තමන් දුටු අවිනීතිම සිද්ධිය කියා විශ්‍රාමික රණවිරුවකු කියා තිබුණා. යමක් ගැන සාකච්ඡාකර විසඳා ගැනීමට කටයුතු කිරීමට අද හැකියාව තිබෙනවා. එයට අනුගත නොවීමෙන් යම් යම් සිද්ධි වුවත් එදා තරම් අද පහරදීම් නැහැ. කෙසේ වුවත් පොලිසිය හා රණවිරුවන් අතර ගැටුම් ඇකිකරවන ඒජන්තවරු කොනත්‍රාත්කරුවන්ගෙන් රණවිරුවන් බේරා ගත යුතුව තිබෙනවා.

මේ වෙනකොට ලොකුම ප්‍රශ්නය විදිහට කතා කරන්නේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට නඩු තීන්දුව. මැතිවරණ කොමසාරිස් 2014 පැහැදිලිව ලිපියක් ඉදිරිපත්කරමින් කියා තිබුණා, මැතිවරණයක් පවතින බවට නිවේදනය කළ පසු නොකළ හැකි දේ ගැනත් එවැනි දේ සිදුවුණොත් එය නීති උල්ලංඝනය කිරීමක් බවත්. මේ තීන්දුව ලබා දුන් විනිසුරු උසාවියට ලබා දී තිබුණ කරුණු මත වැටහීමෙන් කටයුතු කිරීමක් අප දකින්නෙ. අපටත් ඒ දෙදෙනාට වූ දේ ගැන අපටත් කනගාටුයි.

මේ කාලයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට අභියෝග කරන දේ සිදුවෙන බව දැකිය හැකියි. මෙවැනි දේ සිදුකර රට කොතැනකට ද මේ තල්ලු කරන්නෙ. මේ ආයතන හෑල්ලු කිරීමෙන් රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්නේ කෙසේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් යම් යම් දේ ප්‍රකාශකරන බව දැකිය හැකියි. මේ තීන්දු අධිරණය සම්බන්ධයෙන් දැකිය හැකි යහපත් ගති ලක්ෂණ ලෙස මා විශ්වාස කරන්නෙ.

ආණ්ඩු පක්ෂයේ සිටින සමහර ශ්‍රීලනිප මන්ත්‍රීවරු ස්වාධින වන බවට කතාවක් තිබෙනවා. තමන් නියෝජනය කරන පක්ෂ දේශපාලන ව්‍යාපාරයේ හෝ ආණ්ඩුවේ ඉන්න බැරිනම් පැහැදිලි ප‍්‍රකාශයක් කර ඉවත් වුනාට ආණ්ඩුවට රිදෙන්නෙ නැහැ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ජයගෙන සම්මුතිවාදී ආණ්ඩුවක් සෑදීමට එක් වුණේ අනුමත කරගත් කාර්යයකට. ජාත්‍යන්තර ගැටලුවලින් මිදීමට හැකි වුණේ ඒ අනුවයි. විදුලි පුටුව නිෂේධනය වුණා. ආර්ථික සම්බාධක ක්‍රමයෙන් ඉවත්කර ගැනීමට හැකි වුණා.

රටේ ගෞරවාන්විත ජන කොටසක් ලෙස ලොව පිළිගැනීමට ලක්වෙමින් එල්ල වූ චෝදනාවලින් නිදහස් වෙමින් තිබෙනවා. ජනතාවට නිදහස මෙන්ම සංවර්ධනය ගෙනැවිත් තිබෙනවා. මේ සියල්ල සිදුවෙද්දි සමහර මන්ත්‍රීවරුන්ගෙ තදියම කවුරු වෙනුවනේ ද, කවුරු ආරක්ෂා කරන්නද කියා සැකයක් මතු වෙනවා. බන්දුල ගුණවර්ධන මහතා පුද්ගලයන්ට විවිධ චෝදනා එල්ල කරනවා. “බන්දුල වනාහී තාලවර්ගයට අයත් ගසකි. එහි මුදුන් මුලක් නැත. මුදුන් මුලක් නැති බැවින් ඉක්මනින් පෙරළීමට ද පුළුවන.ඒ අයුරින්ම ඔහුත් එක් පක්ෂයකින් වෙනත් එකකට මාරුවෙමින් සිටිනවා විනා නිසි පක්ෂයක් නැති නිසා කුමක් වේවිද කියා කිව නොහැකියි.

ජනාධිපතිවරයාගේ සහෝදර ලාල් සිරිසේන මහතා පැදවූ රථය සම්බන්ධ රිය අනතුර වෙනුවෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිම අත තැබිමක් සිදු කළේ නැහැ. ජනාධිපති මේ අනුව කිසිම දේකදී රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට මැදිහත් නොවන බව ක්‍රියාවෙන් පෙන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙවර සංවත්සරයේ සාධනීය ලක්ෂණ අප දුටුවා. පක්ෂ නායක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභිප්‍රාය පක්ෂය පිරිසිදු කිරීම. ආදිතමයන්ගේ අදහස් පෙරදැරිව නවතාවයකින් ඉදිරියට ගෙන ගොස් පක්ෂය තරුණයන්ට බාරදීමට ඔහු ක්‍රියාත්මකව සිටිනවා. මේ අනුව අප දුටුවා මෙවර පක්ෂ සම්මේලනයට 80%ක්ම තරුණ තරුණියන් එක්වසිටියෙ.

මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණා එතුමා සිටි යුගය පක්ෂයේ ස්වර්ණමය යුගය කියා. ජයග්‍රහණය කර එකට සිටි පාක්ෂිකයන් ඉවත්කර එජාපයේ 41ක් ආණ්ඩුවට එක්කර ගැනීම ස්වරණම යුගයේ දී සිදුවුණේ.

මෙවර පක්ෂ සම්මේලනය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන් දිනය දින යොදා ගැනීමක් නොවේ සිදු වුණේ. අප පක්ෂයේ උපන්දිනයයි සැමරුවේ. මෙවර උසස් පෙළ විභාගය පැවැති අවසන් දිනය 02 දාට යෙදී තිබුණ නිසා විභාගයට පෙනී සිටින දරුවන්ට ගමනාගමනයේ දී යම් අපහසුවක් වේවි කියා අප සම්මේලනය පසුදාට කල් දැම්මේ. සංවත්සර දිනයේ ශ්‍රී ලනිපයේ සභාපති කියූ මහින්ද මහතා පොහොට්ටුවට ජනතාව එක්කර ගැනීමේ යෙදී සිටි බවක් අප දුටුවෙ. රටට පක්ෂයට සේවය කළ නායකයෙක් මේ ආකාරයට පක්ෂය කඩා දමන්නට උත්සාහ කිරීම අනාගතය පක්ෂය බාරගන්න සිටින තරණ තරුණියන්ට විශේෂයෙන් තම දරුවන්ට ද කරන වරදක් ලෙසයි දැකිය හැක්කේ. මේ පක්ෂය රැකගෙන අනාගතයට දායාද කිරීමේ වගකීම ඔහුටත් තිබෙනවා. මේ අයුරින් කවුරු කෙසේ ක්‍රියා කළත් 2020 දි ජනාධිපති අපේක්ෂක ලෙස ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කරන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහතා බව අප අවධාරණය කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරයා මෙසේ ද සඳහන් කෙළේය.

ජාතික අවශ්‍යතාවයකදී පොරොන්දුවකට එය ලඝුකළ නොහැකියි. අපේ පක්ෂයේ සිටි නායකයන්වන චන්ද්‍රිකා මැතිනියට හෝ මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකියි. ඒ අනුව මේවන විට පක්ෂයේ සිටින ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ අනුව 2020 දි අපේ නායකයා වෙන්නේ එතුමායි. මේ රටේ ජනතාව යහපාලන ආණ්ඩුව පත්කර ගත්තේ සමාජ‍, ආර්ථික, දේශපාලන පරිවර්තනයකට, මෙය රටේ ජාතික අවශ්‍යතාවයක්. අරුන්දික මහතාට මා අවවාද කළා තම දේශපාලන අනාගතය සුරක්ෂිත කරගන්නා ලෙස. නමුත් යමෙක් තම අවශ්‍යතා වෙනුවෙන් දේශපාලනඥයන් බිල්ලට ගන්නා බවක් අප දකිනවා. කෙසේ වුවත් ආණ්ඩුවට එක්ව සිටින ප්‍රබලයන් වෙන් වෙන්නෙ නැහැ. පක්ෂය දාල යන්නෙත් නැහැ. අරුන්දික එහිදී නායකත්වය ගන්න හැදුවෙ. ජ්‍යෙෂ්ඨයන්ට අපහාස කරන්න කිසිවකුට බැහැ.

බැඳුම්කරයේ මීට කලිනුත් මෙවැනි දේ සිදුවුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත්කර එතුමාට කශේරුකාවක් තිබෙන බව පෙන්වා තිබෙනවා. එහිදී පහත් තැනින් ගලා ගියෙ නැහැ.

20 සංශෝධනය මුලින් ඌවට ඉදිරිපත් කිරීමයි පරාජයට හේතුව. ඒ අයට සේවා කාලය තවත් තිබියදී ඒ අය කැමති වෙන්නේ නැහැ එය කෙටිකර ගන්න.

එදා ගමේ ගෞරවනීය අයට ගම් සභා, සුළු නගර සභා, නගර සභා හා මහ නගර සභා හරහා පාර්ලිමේන්තුවට එන්න ක්‍රමවේදයක් තිබුණා. නමුත් 77න් පසු ඒ අයට පාර්ලිමේන්තුවට එන්න හැකි වුණේ නැහැ. ග්‍රාමීය නායකයන්ට නැවත කැබිනෙට්ටුවට ඒමේ අවස්ථාව අප සැකසිය යුතුයි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...