රජයේ කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නැහැ | දිනමිණ

රජයේ කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නැහැ

සන්ධ්‍යා කරුණාරත්න

රජයේ කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

කොළඹ ජාතික රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතිය තුළම දැඩි ඖෂධ හිඟයක් ඇති බවටත්, උතුරුමැද පළාතේ ග්‍රාමීය රෝහල් වැසීයාමේ අවදානමක් ඇති බවටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ලබාදී ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍යාංශය පවසයි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම රෝහලේ ඖෂධ හිඟයක් නොමැති බවත් රෝගීන්ට අභන්තර සහ බාහිර වශයෙන් ලබාදෙන ඖෂධ අඛණ්ඩව ලබාදෙන බවත් ය. උතුරු මැද පළාතේ වැලිකන්ද, කහටගස්දිගිලිය, ගලෙන් බිඳුණුවැව, කැබිතිගොල්ලෑව යනාදි රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශය උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එම්. පාලිත බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

එම රෝහල් වැසී යාමේ අවදානමක් කිසිම විටෙක නොමැති බවත් රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදු කරන බවත් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

සමස්ත රෝහල් පද්ධතිය තුළම කිසිදු ඖෂධ හිඟයක් නොමැති අතර ඖෂධ හිඟය මඟහැරවීම සඳහා මෘදුකාංගයක් හඳුන්වාදී ඇත. ඒ අනුව කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතී නම් ළඟම පිහිටි රෝහලෙන් එම හිඟ ඖෂධ ලබාගැනීමට රෝහල් බලධාරීන්ට අවසර ලබා දී ඇත.

වෛද්‍ය සැපයීම් අංශය රෝහල්වලට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබාදෙන අතර කිසිම ඖෂධ හිඟයක් වාර්තා නොවන බවට එම අංශය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර මාධ්‍යයට ලබාදීම තුළින් ජනතාව තුළ වැරදි මත ඇතිවීමේ අවදානමක් ඇති බවත්, එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. 

නව අදහස දක්වන්න