සනීපාරක්ෂක අංශවල අප ලෝක මට්ටමින් ඉදිරියෙන් | දිනමිණ

සනීපාරක්ෂක අංශවල අප ලෝක මට්ටමින් ඉදිරියෙන්

සනීපාරක්ෂක අංශයන් ගත්කළ අප කලාපයේ අනෙකුත් රටවලට වඩා බොහෝම ඉදිරියෙන් සිටිනවා. කලාපයේ පමණක් නොව ලෝක මට්ටමින් ද අප බොහෝ ඉදිරියෙන් සිටින බව නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරන බව සඳහන් කළ හෙතෙම එය රටක් වශයෙන් ආඩම්බර විය හැකි කරුණක් බවත් පැවැසීය.

නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (11 දා) එම අදහස් පළ කළේ බම්බලපිටිය ඕයෝ හෝටලයේදි ආරම්භ වු සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (සතොසාන්) දසවැනි අන්තර් කලාපීය කමිටු රැස්වීමේ සමාරම්භක සැසිවාරය සම්මන්ත්‍රණ අමතමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැති රවුෆ් හකීම් මහතා- අප ඉතිහාසය තුළ සනීපාරක්ෂාවට ඉහළ තැනක් ලැබී තිබෙනවා. ඉතිහාසයේ නිර්මාණ තුළ එය ගැබ්ව සිටිනවා. අප ජාතිය පිරිසිදුකම අගය කළ ජාතියක්. අපි දකුණු ආසියාවේ පමණක් නොව මුළු ලෝකයෙන්ම සනීපාරක්ෂාව අතින් ඉදිරියෙන් සිටිනවා. මෙහි දී රැස්වීමක් අප රට තුළ පැවැත්වීමට ලැබීම පිළිබඳ අප සතුටු වෙනවා.

සාර්ක් කලාපය ලෝක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත්වන කලාපයක්. සනීපාරක්ෂා පහසුකම් සෑම පුද්ගලයෙකුටම ලබාදීමේ අභියෝගය සුළුපටු නැහැ. නමුත් මෙවැනි ප්‍රයත්නයක් තුළින් ඒ ඉලක්ක සපුරාගත හැකි වෙනවා. මෙවැනි සාකච්ඡා ඒ සඳහා මහත් පිටුවහලක් වෙනවා.

මෙවැනි නිලධාරි මට්ටමේ කමිටු රැස්වීමෙන් ලබන වසරේ පාකිස්ථානයේ පැවැත්වෙන සතොසාන් සමුළුවට හොඳ ප්‍රවේශයක් ගත හැකි වෙනවා.

අප රට පෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. ඒ ඉතිහාසය තුළ සනිපාරක්ෂාවට ඉතා හොඳ තැනක් හිමිව තිබුණා. ඒ පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරනවා. අප රටේ ජනතාවට සනීපාරක්ෂක පහසුකම් සියයට සියයක් ලබාදීම සඳහා අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනව.

විශේෂයෙන්ම අප පාසල් පද්ධතිය තුළ සනීපාරක්ෂක පහසුකම් වැඩිකරන්න අප තීරණය කර තිබෙනවා. ගැහැනු දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් එහි දී අප ක්රි යාත්මක කරනවා. මේ සඳහා අප අමාත්‍යංඅශය, මුදල් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධ වී කටයුතු කරනවා. අය-වැය තුළින් මේ සඳහා විශාල මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වසරේ පාසල් තුන්දහසක් සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා.

නව අදහස දක්වන්න