කවියට කාලමය සීමාවක් නැහැ | දිනමිණ

කවියට කාලමය සීමාවක් නැහැ

ධම්මික සෙනෙවිරත්න

කලාකරුවකුගෙ නිර්මාණවලින් එළියට එන්නෙ ඔහු ලෝකය දකින විදිහ. අපි අවංකව විශ්වාස කරන සහ අපට සමාජය දැනෙන විදිහ තමයි අපේ නිර්මාණවලින් එළියට එන්නෙ. ඒක මවාපෑමක් නොවිය යුතුයි. අනෙක නිර්මාණකරුවාට නිර්මාණකරණයට සඳහා ඇති නිදහස යම් සීමා තිබීම අවශ්‍යයි. ඒත් සෑහෙන දුරකට නිදහසක් තිබිය යුතුයි.

ඔබේ “සමහර කමටහන්” කෘතිය වෙනුවෙන් හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ඔබ පිදුම් ලැබුවා. මේ හැඟීම ඔබට දැනෙන්නෙ කොහොමද?

සම්මාන බලාපොරොත්තුවෙන් නිර්මාණ කරන්නෙ නෑ. ඒත් නිර්මාණ අගය කිරීමකට ලක්වීම හොඳ දෙයක්. සෑම කෘතියකටම සම්මාන ලැබෙන්නෙත් නෑ. ඒ වගේම සම්මානයක් ලැබීම මහා විශාල දෙයක් හැටියට සලකන්න අවශ්‍යත් නෑ කියල මට හිතෙනවා.

සම්මාන ලැබීම කෘතියක අලෙවියට බලපාන කාරණයක් වෙලා තියෙනවා. මේ ගැන ඔබ කොහොමද සිතන්නෙ?

මං හිතන්නෙ නවකතාවකට හරි කෙටිකතා සංග්‍රහයකට හරි ඒක අදාළ වුණත් කවි පොතකට ඒ තරම් එය අදාළ වෙන්නෙ නෑ කියල. හුඟාක් වෙලාවට කවිපොත් කරන්නෙ කතෘ ප්‍රකාශකයො. කවිපොත් අලෙවිය කොහොමත් අඩුයි. සමහර කෙනෙක් සම්මානයට ලක්වුණු කෘතීන් කියැවීමට නැඹුරු වුණත් කවි පොතක අලෙවියට මේක විශාල බලපෑමක් කරනවා කියල හිතන්න අමාරුයි.

නිර්මාණකරුවකුට, කවියකුට මං දැන් කවියක් ලියනවා කියල ලියන්න අමාරුයි. කිසියම් සිද්ධියක් අත්දැකීමක් ඔස්සේ ඔහු තුළ කම්පනයක් ඇති විය යුතුයි. පසුව තමයි නිර්මාණයක් බිහිවෙන්නෙ. මේ කාරණය ඔබට අදාළව කෙබඳු ද?

ඒ කාරණය සෑහෙන දුරට මටත් අදාළයි. සමහර කාල තියෙනවා නිර්මාණයක් කරන්නම බැරි. අපි පූර්ණකාලීනව නිර්මාණකරණයේ යෙදෙනවාත් නෙවෙයි. නිර්මාණවේශයක් ඇතිවෙලා යමක් ලියන්න පෙළඹෙන්නෙ අර කියපු විදිහේ සිද්ධීන්, අත්දැකීම් ඔස්සේ ඇති වූ කම්පනය නිසා තමයි. සෑම අත්දැකීමක්ම, සිද්ධියක්ම අප තුළ කම්පනයක් ඇති කරන්නෙ නෑ වගේම එසේ කම්පනයක් ඇති වූ පමණින්ම නිර්මාණයක් බිහි වෙන්නෙත් නෑ. කම්පනයක් ඇති වෙලා යම් කාලයක් අත්විඳිනවා. පසුකාලීනව එය ක්‍රමයෙන් පදම්වෙලා අප නොදැනුවත්වම කවියක් වශයෙන් ප්‍රකාශයට පත්වෙනවා.

ගීපද රචකයකුට විනාඩි 3 -4 ක් තුළ කිවයුතු දේ සරලව කියන්න වෙනවා. කවියාට ඊට වැඩි නිදහසක් හිමියි. ඔහුට එවැනි කාලමය සීමාවක් නෑ. අදහස් ප්‍රකාශනයේදි ඊට වඩා පුළුල් නිදහසකුත් තිබෙනවා. ඔබ කොහොමද මෙය විග්‍රහ කරන්නෙ?

කවිය සහ ගීතය සපුරා වෙනස් මාධ්‍ය දෙකක්. කවිය තනි පුද්ගලයකුගේ නිර්මාණයක්. ගීතයක් බිහිවෙන්නෙ පද රචකයා සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ එකතුවක් හැටියට. කවියාට මෙවලම් වශයෙන් තියෙන්නේ වචන පමණයි. ගීතයෙදි සංගීතයත් ප්‍රබලයි. සංගීතය පමණක් වෙන්ව රසවිඳින්නත් පුලුවන්. නමුත් ගීතය සරල විය යුතුයි. කවියක් වගේ නෙවෙයි. පේළි කිහිපයකින් කිවයුතු දේ කියන්නත් වෙනවා. නමුත් කවිය වචන 2 -3 කින් තිබෙන්නත් පුලුවන්. ආඛ්‍යාන කාව්‍යක්, පොතක් වෙන්නත් පුලුවන්. කවියාට යන්න තියෙන මාර්ගය පටුයි. නමුත් නිදහස වැඩියි. කාව්‍ය ඉතිහාසය ගත්තොත් අපට හොඳ පසුබිමක් තිබෙනවා. උසස් කවීන් බිහි වී සිටිනවා. හැබැයි කවිපොත් අලෙවි වෙනවා අඩුයි. මේකෙන් කවි කියවන, විඳින පිරිස අඩු බවක් අදහස් වෙන්නෙත් නෑ. විවිධ මාධ්‍ය ඔස්සෙ කවි ප්‍රකාශයටත් පත්වෙනවා.

කවි පොත් අලෙවිය අඩුවීමේ ගැටලුවට හේතු ලෙස ඔබ දකින්නෙ මොනවාද?

මේක කවීන් මන්දෝත්සාහී කරන තරම් තත්ත්වයක්නෙ.

මේක ටිකක් සංකීර්ණ කාරණයක්. 1980 ගණන් වගේ වෙනකොට රූපවාහිනිය එනවා. නව මාධ්‍ය පැමිණීමත් සමඟ අපේ පරිකල්පනයටත් ඒක බලපානවා. ගීතයක් රසවිඳිද්දි, පොතක් කියවන කොට වගේම අපි රූප මවනවා. ඒ කියන්නෙ පරිකල්පනය අවදිවෙනවා. නමුත් රූපවාහිනියට ආවට පස්සෙ ඒකෙන් රූප මවනවා. ගීතයත් එක්ක රූප රචනා යනවා. ගුවන්විදුලි නාට්‍යවලත් තිබුණු මේ ස්වභාවය රූප මාධ්‍ය ආවාට පසුව වෙනස් වුණා කියල මට සිතෙනවා. ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කරද්දි අපි රූප මවනවා. දැන් ටෙලි නාට්‍ය රූප පෙන්වනවා අපි බලාගෙන ඉන්නවා. මේක අප තුළ ඇති නිර්මාණ ශක්තිය හීනවීමට බලපෑමක් ‍කළා කියන්න පුලුවන්. ජංගම දුරකතන ආවට පස්සෙ ඔය තත්ත්වය තවත් වෙනස් වුණා. බරපතල වුණා.

අධ්‍යාපනය ගත්තත් සාහිත්‍ය කලා සඳහා ඇති නැඹුරුව අඩු වුණා. අපි ඉගෙන ගන්න කාලයේ කලා විෂයය ධාරාව හදාරන පංති කිහිපයක් තිබුණත් දැන් ඒක බොහෝ විට එක පංතියකට සීමා වෙලා. එක පංතියක් හදාගන්නත් අමාරුයි. සිංහල විෂයය, කලා විෂයය ධාරා හදාරන්න යොමුවෙනවා අඩුයි. හුඟාක් දෙනා නවීන තාක්ෂණ යුගයේ වෙනත් අංශවලට යොමුවෙලා වෙහෙස මහන්සියෙන් මේවා හදාරන පිරිසක් ඉන්නවා. ඒත් වැඩි පිරිසක් යොමුනොවෙන්න සමාජයීය සාධක බලපාලා තියෙනවා. පොත - පත කියැවීම අඩුවෙලා වෙනත් ක්‍රියාකාරකම්වලට වැඩියෙන් නැඹුරු වීමක් තියෙන්නෙ.

තවත් කාරණයක් තමයි භාෂා - භාවිතයෙදි පරිහාණි තත්ත්වයක් දකින්න තිබීම. ජනමාධ්‍ය ගත්තත් ඒ ගැන එතරම් තැකීමක් නෑ. ව්‍යාකරණ ගැන පවා සිතන්නේ නෑ. නිවැරදි උච්ඡාරණය , භාෂා ව්‍යවහාරය බිඳවැටිලා. පොත - පත ලිවීමේදී පවා මේවා ගැන තැකීමක් නෑ. මේක සාහිත්‍ය පරිහානියටත් බලපානවා. සාහිත්‍ය වැදගත්ම දේ භාෂාව. ඒත් ඒ ගැන තැකීමක් නැතිවුණාම පිරිහීමක් ඇතිවනවා. මේ පරිහානිය ඇතුළෙ කියැවීම අඩුවෙලා කුඩා කෘතියක් කියෙව්වත් ඒක අවබෝධ කරගන්නත් බැරි තරමට වර්තමාන පරපුර පත්වෙලා. පාසල් මට්ටමෙන් හරි මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා වැඩපිළිවෙළ ඇතිවිය යුතුයි.

ජාතිකත්වයට, සංස්කෘතියට පහරදෙමින් නිර්මාණ කිරීම රැල්ලක් බවට පත්ව ඇති බවක් පෙනෙනවා. සමහරවිට එවැනි කෘතීන්ට සම්මානත් ලැබෙනවා. අපේ කවිය ජනකවියෙන් පෝෂණය ලැබුවත් ඒ හර පද්ධතියටත් පහර දෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මම එතරම් එකඟ වෙන්නෙ නෑ. හේතුව කිසියම් නිර්මාණකරුවෙක් පූර්ව විනිශ්චයකින් යුතුව එහෙම පහර දෙනවා කියල මං හිතන්නෙ නෑ. සම්මාන ලබන්න හරි අවධානය දිනාගැනීමට හරි එහෙම කරනවා කියල හිතන්න අමාරුයි. මං එහෙම කරන්නෙත් නෑ. කවුරු හරි නිර්මාණකරුවෙක් රැඩිකල් වෙනවා නම්... ඔහුත් මේ සමාජයෙම කෙනෙක් හැටියට මේ සමාජයෙ විවිධ දේවල් ඔහුට දැනෙන හැටියට ප්‍රකාශ කරනවා විය හැකියි. කලාකරුවකුගෙ නිර්මාණවලින් එළියට එන්නෙ ඔහු ලෝකය දකින විදිහ. අපි අවංකව විශ්වාස කරන සහ අපට සමාජය දැනෙන විදිහ තමයි අපේ නිර්මාණවලින් එළියට එන්නෙ. ඒක මවාපෑමක් නොවිය යුතුයි. අනෙක නිර්මාණකරුවාට නිර්මාණකරණය සඳහා ඇති නිදහස යම් සීමා තිබීම අවශ්‍යයි. ඒත් සෑහෙන දුරකට නිදහසක් තිබිය යුතුයි. මට හිතෙන්නෙ නිර්මාණයක් බාරගන්න විදිහ තුළයි ප්‍රශ්නය තියෙන්නෙ කියලා. යම් නිර්මාණකරුවෙක් ප්‍රකාශ කරන දේ සෑම කෙනෙකුටම ප්‍රිය වෙන්නෙ නෑ. මං කියන දේවල්වලට කැමැති වගේම අකමැති පිරිසකුත් සිටිනවා. මේක සාපේක්ෂයි.

කවියෙක් විදිහට ඔබේ ජීවිතය දිහා බලද්දි ඔබ මීට පෙර එළිදැක්වූ කාව්‍ය සංග්‍රහත් එක්ක ‘සමහර කමටහන්’ මොනවගේ තැනකද තියෙන්නෙ?

‘සමහර කමටහන්’ වැඩිය හොඳයි කියල වගේ මට කියන්න බෑ. හැබැයි, මේ දක්වා මගේ නිර්මාණවලින් මට වැඩිම ප්‍රතිචාරයක් ලැබුණෙ මේ කෘතියට කියල මට හිතෙනවා. අපි කෘතියක් කළාම පසුව ඒක කියවද්දි මේක මීට වැඩිය හොඳට ලියන්න තිබුණා නේද කියලත් හිතෙනවා. එහෙම මට මේ කෘතිය ගැනත් හිතෙනවා. මං හිතන්නෙ නෑ නිර්මාණකරුවකුට පරිසමාප්ත නිර්මාණයක් කරන්න ලැබේවි කියලා. සෑමවිටම තමන්ගේ නිර්මාණය පිළිබඳ ඔහු යම් දුරකට හෝ අතෘප්තිමත්. ඒ ඔස්සේ තමයි නිර්මාණකරුවෙක් ඉදිරියට යන්නෙ. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...