ජ්‍යොතිෂායුර්වේදය | දිනමිණ

ජ්‍යොතිෂායුර්වේදය

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

ආයක්ඛාමාය මානේන - සර්වාතසුඛ සාධනං
ආයුර්වෙද්‍ය දේශේෂු - වේධයඃ පරමාධරඃ

ජ්‍යොතිෂායුර්වේදය යනු ආලෝකය සහ ආයුෂය ලබාදෙන වේදයයි. ආයුෂය, සැපය, බලය, ප්‍රඥාව යන පංච භූත, පංච කර්ම, පංච ඉන්ද්‍රිය, පංච මාතෘ, පංච පීතෘ, පංච බල, ප්‍රඥා අභිඥා ශක්තීන් තුළින් නිරෝගීමත් දිවියකට ආලෝකය විවර කර දීම මේ තුළින් සිදුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අදාළ වන දේශීය පාරම්පරික වෙදකම සහ ජ්‍යොතිෂය ගහට පොත්ත හා සමානව බැඳී තිබේ. ගහට පොත්ත නැතිව ගහේ සුරක්ෂිතභාවයක් නැත. එමෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ පැවැත්ම පිණිස ජ්‍යොති ශාස්ත්‍රය හා සමගාමීව සහසම්බන්ධතාවයක් පැවැත්විය යුතුය.

විශේෂයෙන් අෂ්යාංග ආයුර්වේදයේ තෙවන වෛද්‍ය අංශය වන භූත විද්‍යාව ඇතුළු ශල්‍ය (කැඩුම් බිඳුම්), දංෂ්යා (සර්පවිෂ) යන වෛද්‍ය ක්‍රම සඳහා අවශ්‍ය ඖෂධ සකස් කිරීම ඇතුළු මූලික කටයුතු වෙනුවෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රීය අංශ අනිවාර්යයෙන්ම උපකර කර ගත යුතුය.

පාරම්පරික දේශීය වෙදකමට අනුව භූත වෛද්‍ය විද්‍යාවේදී ෂූර්ය කාල, යාම කාල, දිව්‍ය කාල, ශ්‍රී කාල, චන්ද්‍ර කාල, භූත කාල, මරු කාල, රෞද්‍ර කාල යන අෂ්ඨ කාල චක්‍රය සඳහා ද ජ්‍යොතිෂය වැදගත් වේ. එමෙන්ම දින බල, තිථි බල, යෝග බල, නැකැත් බල, කරණ බල, පක්ෂ බල, හෝරා බල, සිද්ධි බල යන අෂ්ඨ බල චක්‍රය සඳහා ද මෙය වැදගත් ‍වේ.

‍තවද විෂ්ණු සිද්ධිය, බ්‍රහ්ම සිද්ධිය, ඊශ්වර සිද්ධිය, මන්ත්‍ර සිද්ධිය, තන්ත්‍ර සිද්ධිය, නාම සිද්ධිය, ඝන සිද්ධිය, භූත සිද්ධිය යන අෂ්ඨ සිද්ධි චක්‍ර සඳහා ද අෂ්ඨ විධ ශාන්ති කර්ම සඳහා ද ජ්‍යොතිෂය උපකාරී වේ.

මේ අනුව අෂ්ඨාංග ආයුර්වේදයෙහි තෙවන අංශය භූත විද්‍යාව තුළින් සුවිසි වැදෑරුම් ප්‍රතිකර්ම සඳහාම ජ්‍යොතිෂ ශාස්ත්‍රය නැකැත් ක්‍රම භාවිතා කරනු ලබයි. ඹීට අමතරව කැඩුම් බිඳුම් වෙදකම, සර්ප විෂ වෙදකම සහ සාමාන්‍ය සර්වාංග වෙදකමේදී ද නැකැත් ක්‍රම අනුගමනය කෙරේ. එමෙන්ම නිල වෙදකම, පිළිස්සුම් වෙදකමේදී ශරීර සෝදන ප්‍රතිකාර අතර වින විරේක, විෂ විරේක, ළය විරේක, වායු විරේක ආදී සියලු විරේක අවස්ථාවන්හිදී මරු කලා, විෂ කලා, පුර අව, තිථි නැකැත් විශේෂයෙන් භාවිතා කෙරේ.

තවද, පාරම්පරික වෙදකමට අනුව ඖෂධ සකස් කර ගැනීම සඳහා බෙහෙත් වර්ග සපයාගත යුත්තේ කෙම් පහන් නැකැත් ක්‍රම අනුගමනය කිරීමෙනි. විශේෂයෙන් දෙවොලෙහි, සොහොන් වැනි පාළු ස්ථාන, සතරමං හන්දි, අපවිත්‍ර තැන්, තුඹස් ආදී ස්ථාන අසුබය.

වනයේ, පර්වත මධ්‍යයේ, ගංඟා තීරයේ, ගල් අතරෙහි, ආරාම, උයන් ආදී ස්ථානවලින් පුවපුටුප, උත්‍ර පුටුප, රේවතී වැනි නැකතකින් ඖෂධ සපයාගත යුතුය.

ප්‍රථමයෙන් අවශ්‍යතාවය පරිදි සුදුසු ඖෂධ තිබෙන ස්ථාන හමුවූ පසු ඒ අවට සුද්ධ පවිත්‍ර කර කහ දියර, සඳුන් කිරි පැන් ඉස පේ කර ගැනීමට සූදානම් කර ගත යුතුය. පහන් දැල්වීමේදී Òයේන රාජ බලි භද්‍රෝ - බ්‍රහ්ම විෂ්ණු මහේවරඃ තේන තේජේන බන්ධාමි - තිෂ්ඨ තිෂ්ඨා හරෞෂධම්Ó යන ගාථාව ස්වර කියවමින් පහන් දල්වා කපුරු දුම් අල්ලා ලද පස් මල් ඉස පිරිත් මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර සජ්ජායන කර රාත්‍රී යාමයක් පේ කර අලුයම බ්‍රහ්ම මුහුර්තය ඇතුළත් නැකැත් බල පිහිටුවා නිසි වෙලාවෙන් ඖෂධ ගලවා ගත යුතුය. ඖෂධ ගලවා ගැනීමේදී (“දේවරාජ බලි භද්‍රෝ - බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරෝ - තේන පායාම බන්ධාමී - උෂ්ඨ උෂ්ඨා හරෞෂධම්”) යන ගාථාව හත්වරක් කියමින් දුම් අල්ලා අලුයම බ්‍රහ්ම මුහුර්ථය, අරුණ මුහුර්ථය, සූර්ය මුහුර්ථය නොහොත් ඊශ්වර මුහුර්ථයට අදාළ අෂ්ඨ කර්මයට අනුව සිවු භාෂිතයට අයත් කර්ම හිමි ප්‍රධානව ඖෂධ නිසි ලෙස සකස් කර ගැනීම පාරම්පරික දේශීය වෙදකමයි.

විශේෂයෙන් මෙය බෙහෙත් ඖෂධ වර්ග ගලවා ගැනීම සඳහා පමණක් නොව රන් තැඹිලි, තැඹිලි පොල් වැනි ඖෂධ ගස්වලින් තෙල් සිඳීමට ද නැකැත් අනුගමනය කරයි. තවද ගවයන්ගේ, ඇතුන්ගේ රෝගවලට කරේ එල්ලන ගෙඩි බඳින්නේ ද නැකතටය. මිනිසුන්ගේ ඇට විසන්ධි වූ විට බත් හැළිය උතුරන විට සන්ධි මූට්ටු පැයෙන්, පැය තුනෙන්, අදාළ වරු ගණනින් හන්දි පෑස්සීම සිදු කරයි. වමන රෝගීන්ගේ වමනය නතර කිරීමට නැකතට ගසේ පොත්ත ඉහළට ගැලවීම සහ ගසේ පොත්ත පහළට ගැලවීමෙන් අතිසාර රෝගීන්ගේ බඩඑළිය නතර වේ. ඇස්වල රෝගවලට මහපට ඇඟිල්ලේ, අල්ලේ, වැලමිටේ සහ නිලවලට බෙහෙත් බැඳීම. සර්ප විෂ වෙදකමේදී විෂ කලාව, මරු කලාව ඉවතලා අමුර්ත කලාව ඇතුළත් නැකතින් අඹරා පිටත් නැකතින් ජීවම් කර සුරක්ෂිතව තබාගෙන අවශ්‍ය වේලාවේදී ප්‍රතිකර්ම යෙදීම. එවැනි රෝගීන් මිය ගිය බැව් තීරණය කරමින් පෙට්ටියේ තබා තිබුවත් නැවත පියවි සිහිය පවා ලැබී තිබේ.

අතිශය දරුණු භූත බලපෑම් ඇති රෝගීන්ට ඇතුළත් නැකතින් යන්ත්‍ර සකස් කර පිටත් නැකතින් පැලඳවීම සිදුකරයි. දරුණු ග්‍රහ ඒරාෂ්ඨක සහිත විවිධ විෂම බලපෑම් සඳහා පිටත් නැකතින් බලි අඹා ශාන්ති කර්ම කර ඇතුළත් නැකතින් යන්ත්‍ර පැලඳීම හෝ ප්‍රතිකාර කිරීම යනාදී වෛද්‍ය ප්‍රතිකාර අමතර ප්‍රතිකර්ම යෙදීම ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් ශාස්ත්‍රීය කර්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලදී විශේෂයෙන්ම යොදා ගැනේ.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පමණක් නොව, විවිධ රෝග නිවාරණය සඳහා ඖෂධ සකස් කිරීමට ගනු ලබන ප්‍රධාන ඖෂධ අදාළ යෝග අනුව පිටත් නැකතින් ප්‍රතිකාර යෙදීමෙන් ඖෂධවල ගුණ ශක්තිය බලය අනුව පැය ගණන්, දින ගණන් ඇතුළත රෝග සුවකළ හැකිය.

මේ සඳහා තල්, පොල්, කිතුල්, කෙසෙල් ආදියේ පටන් විවිධ ඖෂධ වර්ග සඳහා වෙන වෙනම නැකැත් ක්‍රම පිළිබඳව පලදාවලිය, මුහුර්ත චින්තාමනිය ආදී ග්‍රන්ථවල සඳහන් වේ. වර්තමානයේ මෙම ශාස්ත්‍රීය ක්‍රම අනුගමනය කරන පිරිස හිඟවීම නිසා මේවායේ ප්‍රතිඵල හීනවී ඇත.

සටහන චතුමී පිටිපන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...