අමල්-රසික 4x4 ශූරතා අභියෝගය ජය ගනිති | දිනමිණ

අමල්-රසික 4x4 ශූරතා අභියෝගය ජය ගනිති

 රියැදුරු අමල් වික්‍රමආරච්චි හා සහායක රියැදුරු ඩබ්ලිව්. එම්. රසික කෞෂල්‍ය 4x4 ජිම්පෝ ශූරතා අභියෝග දිනා ගනිද්දී ගයාන් සඳරුවන් දක්ෂතම යතුරුපැදි ධාවයා ලෙස ‘ජිම්පෝ’ යතුරුපැදි ශූරතාව දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා‍ ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කළ 4x4 ජිම්පෝ ශූරතා අභියෝගය පසුගියදා ඇඹිලිපිටිය තුංකම පැවැත්විණි. එහිදි යතුරුපැදි ඉසව් 12 කින් සමන්විත යතුරුපැදි තරගාවලියක් ශ්‍රී ලංකා ධාවන පැදි කරුවන්ගේ සංගමය විසින් සංවිධාන කර තිබූ අතර 4x4 අභියෝග වෙනුවෙන් තරග කාණ්ඩ 8 කින් සමන්විත තරගාවලියක් පැවැත්විණි.

හත්වැනි වටරත් සංවිධාන වු තරගාවලියේදී එක්ස්ට්‍රීම් කාණ්ඩයේ සමස්ත 4x4 ජිම්පෝ ශූරතා අභියෝගය රියැදුරු අමල් වික්‍රමආරච්චි හා සහායක රියැදුරු රසික කෞෂල්‍ය විසින් දිනාගැනීමට සමත්වූහ. රියැදුරු ෆෑන්සිස් කූ හා සහායක පියල් සඳකැලුම් සමස්ත අනු ශූරතාව දිනාගත් අතර රියැදුරු සමිත සමරසිංහ හා සහායක වෝනර් ඕලෆ් තෙවැනි ස්ථායට පත්වුහ.

මේ තරගාවලියේ අත්‍යන්ත (එක්ස්ට්‍රීම්) තරග ඉසව්ව විශේෂ අදියරයන් 14ක් යටතේ පැවැති අතර පළමු විශේෂ අදියරයන් 05, පසුගිය 4 වැනිදා ගොඩකවෙල ප්‍රදේශයේදීත්, දෙවැනි ‍විශේෂ අදියරයන් 05 - 5, 6 හා 7 තෙදින උඩවලව ප්‍රදේශයේදීත් පැවැති අතර අවසන් විශේෂ අදියරයන් 04 ඇඹිලිපිටියේදී පැවැත්‍විණි.

අත්‍යන්ත, (එක්ස්ට්‍රීම්) තරග ඉසව්වේ අශ්ව බල ධාරීතාවය 3000 ට වැඩි තරග කාණ්ඩය රියැදුරු සමිත සමරසිංහ හා සහයක වෝනර් ඕලෝෆ් ජයගත් අතර රියැදුරු ධම්මික කරුණාරත්න හා සහයක දමිත් දිසානායක දෙවැනි ස්ථානයත්, රියැදුරු ඕලිව වෝන්ඩරේ හා සහයක හොන්සා ස්නොර් (චෙක් ජනරජය) තෙවැනි ස්ථානයටත් පත්වූහ.

අශ්ව බල 3000 ට යටත්ව තරග ඉසව්වෙන් රියැදුරු අමල් වික්‍රමආරච්චි හා සහායක රසික කෞෂල්‍ය ජය ගනිද්දී ටුවරීන් පන්තියේ මෝටර් රථ ඉසව්වෙන් රියැදුරු ශෙනාල් රත්නායක හා සහායක ජීනුර රත්නායකට ජය හිමිවිණි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය රියැදුරු යොහාන් හෙට්ටිආරච්චි හා සහායක නුවන් කුමාර දිනාගත් අතර රියැදුරු සුමින්ද සිල්වා හා සහායක සුරලීනී ද සිලිවා තෙවැනි ස්ථානයට දිනාගත්හ.

නවීකරණය කළ ටුවරීන් පන්තියේ ඉසව්වෙන් සැමුවෙල් රත්නායක හා සහායක ජීනුර රත්නායක ජයගත් අතර ඇන්ඩ්‍රියාස් කලව්ස් හා සහායක ලුෂාමා වික්‍රමසිංහ දෙවැනි ස්ථානයත්, ශානුක රණසිංහ හා සහායක එස්. රත්නපාල තෙවැනි ස්ථානයත් හිමිකර ගත්හ.

නවීකරණය නොකළ ටුවරීන් පන්තියේ ජය රියැදුරු යොහාන් හෙට්ටිආරච්චි හා සහායක නුවන් කුමාර සතු වෙද්දී, දෙවැනි ස්ථානය රියැදුරු සුමින්ද සිල්වා හා සහායක සුරලීනී ද සිලිවාද, රියැදුරු ස්මයිල් කසීම් හා සහායක අශ්රෆ් ඇඩම් (මැලේසියාව) තෙවැනි ස්ථානයත් දිනා ගත්හ.

4x4 ජිම්පෝ ශූරතා අභියෝගයට සමගාමීව පැවැති ජිම්පෝ මෝටර්ක්‍රොස් තරගාවලියෙන් ගයාන් සඳරුවන් ශූරතා පළමු තරග ඉසව්වෙන් ප්‍රථමයාද දෙවැනි තරගයෙන් දෙවැන්නාද වෙමින් ජිම්පෝ යතුරුපැදි ශූරතායව දිනාගත්තේය.

ගයාන් පළමු තරග ආරම්භයේදී සිවුවැනි ස්ථානයේ පසුවෙමින් මන්දගාමී ආරම්භයක් ලබාගත්තත් ළහිරු, ඉවෝන් පසුකර සිවුවැනි වටයේදී දෙවැන්නා ලෙස බුද්ධික පසුපසින් තරගයේ නියැලුනේය. අවස්ථාව ආ සැනින් තම යතුරු පැදියේ ජවය තව තවත් ත්‍රීවෘර කරමින් වේගය ලබාගත් ගයාන් හයවන වටයේ අවසන් තත්පර කිහිපයේදී බුද්ධික කසුන් පරයා යාමට සමත් විය. වට අටකින් සමන්විත එම්.එක්ස් 85 – 125 සී.සී.(2ටි.) 125 – 250 සී.සී.(4ටී) තරගය නිමාවනතුරුම ගයාන් පෙරමුණේ පසුවිය. අවසන ගයාන් ප්‍රථමයා වෙමින් තරගය නිමා කළ අතර ඉවෝන් බියාජී ගුරුසිංහ දෙවැන්නාද ළහිරු ජීවන්ත තෙවැන්නාද විය. බුද්ධික හත්වන වටයේදී සමබරතාවය ගිලිහි ගොස් ධාවනපථයේ ඇඳ වැටීම නිසා ඔහුට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

එහි දෙවැනි තරගයේදීත් සිවුවැන්නා ලෙස තරගයට අවතීර්ණ වූ ගයාන් තරගය නිමා කළේ දෙවැන්නා ලෙසිනි. ඉවෝන් බියාජී හොඳ තරග ආරම්භයක් ලබාගනිමින් පළමු වට හතරේදීම පෙරමුණ ගෙන සිටි අතර බුද්ධික කසුන් දෙවැන්නාද ළහිරු ජීවන්ත තෙවැන්නාද ලෙස තරග කළ අතර එක් එක් ක්‍රීඩකයාගේ දුර්වල තැන් ඉතා සියුම්ව අධ්‍යන කරමින් ගයන් එක් එක් ක්‍රීඩකයා පරයා යමින් පෙරමුණට පැමිණියත් ඒ වන විට ඉවෝන් පසු කරයමින් පෙරමුණේ පසු වූ බුද්ධික කුසුන් සිල්වා පසුකරයාමට ගයාන්ට නොහැකි විය. බුද්ධික පළමු වැන්නා ලෙස එම තරග ඉසව් නිමා කළ අතර ඉවෝන් බියාජී ගුරුසිංහ තෙවැන්නා ලෙස තරගය නිමා කළේය.

එක් ශූරතා තරගයකින් ප්‍රථමයාද එක් තරගයකින් දෙවැන්නාද වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි ගයාන් තරගාවාලියේ දක්ෂතම ධාවකයා විය.

85 – 125 සී.සී. (2ටී.) /125 – 250 සී.සී.(4ටී.) තරග ඉසව් දෙකෙන්ම ශානුක සඳරුවන් ජයගත් අතර තරග ඉසව් දෙකෙන්ම ළහිරු ජීවන්ත දෙවැන්නා විය. 65 සී.සී.(2ටී.) / 150 සී.සී. (4ටී.) 16 න් පහළ තරග ඉසව් දෙකෙන්ම විනුෂ්ක සිල්වා ජයගත් අතර ඩී.එම්.ඩී. කල්හාර තරග ඉසව් දෙකෙන්ම දෙවැන්නා විය.

පී.ඩබ්ලිව්. 50 සී.සී. 10 න් පහළ තරග ඉසව් දෙකෙන්ම මිනුක රත්නායක ජයගත් අතර පළමු තරගයෙන් රවිනු රත්නායක දෙවැන්නාද දෙවන තරගයෙන් ඇසළ මදනායක දෙවැන්නාද වුහ.

එම්.එක්ස් 85 – 125 සී.සී. විවෘත තරගයෙන් බුද්ධික ජයගත් අතර එම ඉසව්වේම සන්නද්ධ සේවා තරග ඉසව්වෙන් ළහිරු ජීවන්ත ජයගත්තේය. එම ඉසව්වේම නවීකරණය නොකළ ඉසව්වේ ජය හිමිවූයේ නිහාල් විජේරත්නටයි.

මේ තරගාවලිය පුරාවටම විශේෂයෙන් දැක ගත හැකි වූයේ ශ්‍රී ලංකා යුද හමුදා යතුරුපැදි ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන්ය. ඔවුන් ඉසව් හතක් නියෝජනය කරමින් කුසලාන 10 ක් හිමිකර ගැනීම කැපී පෙනුණි. බුද්ධික, ළහිරු හා නිහාල් ඔහුන් අතරිනුත් කැපීපෙනෙන ධාවකයන් විය.

පසුගිය වසරේදී 4x4 ජිම්පෝ ශූරතා අභියෝගයට එක්ව සිට මේරට ප්‍රධාන පෙළේ තරග කරුවන් කිසිවෙක් තරගාවලිය නියෝජනය නොකළ අතර ඔහුන්ගේ අඩුව තරගාවාලිය පුරාවටම දැකගත හැකි විය.

මෙවර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) දක්වූ අතර ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව විසින් තරගාවලිය සජීවීව විකාශනය කළේය.

සටහන හා ඡායාරූප
ගීෂා මුණසිංහ

නව අදහස දක්වන්න