සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එළීම අද ඇරැඹේ | දිනමිණ

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එළීම අද ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

ටෙන්ඩර් කැඳවීමේදී මතුවූ විවිධ ගැටලු හේතුවෙන් වසරකට ආසන්න කාලයක් පුරා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ප්‍රමාද වූ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එළීමේ ක්‍රියාවලිය අද (14) පෙරවරු 9.15ට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

ජාතික මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වීමේ සහ මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය පුහුණුවීම් කටයුතු කිරිමේ අවස්ථා අහිමි කරමින් වසර 2013 සිට තාවකාලිකව වසා දමා තිබූ සුගතදාස ක්‍රීඩාංගණයේ මිටර් 200 සහ මීටර් 400 කෘත්‍රිම ධාවන පථ නැවත එලීම එම ටෙන්ඩරයෙන් තෝරා ගත් ඇක්සස් - කොනිකා ඒකාබද්ධ සමාගම (JV) අද සිට වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එළීමේ ක්‍රියාවලිය ලබන දෙසැම්බර් මාසය වනවිට අවසන් කෙරෙනු ඇතැයි මේ පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

වසර කිහිපයක් පුරා ක්‍රීඩාංගණය වසා දැමීමෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවිම්වලදී දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවූ බව කී අමාත්‍යවරයා ලබන ජනවාරි මාසයේ සිට නැවත සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදුකිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එලීම සඳහා අවස්ථා දෙකකදී ටෙන්ඩර් කැඳවීමට නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහි පුහුණුවීම් ආරම්භ කිරීමට දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා සිය කනගාටුව පළ කළේය.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එළීමේ ටෙන්ඩරය ඇක්සස් - කොනිකා ඒකාබද්ධ සමාගමට ලබා දී ඇත්තේ රුපියල් මිලියන 269ක මුදලකට බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර පළමු වරට ටෙන්ඩර් කැඳවු අවස්ථාවේදී ද ටෙන්ඩර් කමිටුව විසින් තෝරාගනු ලැබුවේ ඉහත කී සමාගම වුවත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන කොන්දේසි ප්‍රකාරව නිසි සුදුසුකම් සපුරා නැති බවට සහ ටෙන්ඩර් කමිටුව එක්පාක්ෂිකව කටයුතු කළ බවට සෙසු ටෙන්ඩර්කරුවන් ජනාධිපති ප්‍රසම්පාදන මණ්ඩලයට අභියාචනා ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව කරුණු විමර්ශනය කළ ප්‍රසම්පාදන මණ්ඩලය නැවත ටෙන්ඩර් කැඳවන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට නිර්දේශ කර තිබිණි. එහි නැවත ටෙන්ඩර් කැඳවීම පසුගිය ජනවාරි මස අගභාගයේදී සිදුකෙරිණි.

අනතුරුව වඩාත් නිවැරැදිව සහ විනිවිදභාවයකින් යුතුව දෙවැනි වර ටෙන්ඩර් කැඳවීම සිදුකරනු ලැබු අතර අදාළ සමාගම එවර නැවත ඒ සඳහා ඉදිරිපත් වූයේ සියලු සුදුසුකම් සම්පූර්ණ කරමිනි.

මීට වසර කිහිපයකට පෙර එක්තරා සමාගමක් විසින් රුපියල් මිලියන 113ක ටෙන්ඩරයක් මගින් මෙහි එලනු ලැබූ කෘත්‍රිම ධාවන පථය කඩතොලු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණේ 2013 වසරේදිය. ඒ වනවිට එම ධාවන පථයේ පවත්වා තිබුණේ 2012 ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා ශුරතාවලිය පමණි.

එහෙත් ඊට මාස කිහිපයකට පසුව එහි කඩතොලුවීමෙන් ඇතිවු අර්බුදකාරී වාතාවරණය හමුවේ ක්‍රීඩාංගණය තාවකාලිකව වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

එහි ධාවන පථ නැවත එලීම සඳහා පළමුවරට ටෙන්ඩර් කැඳවීම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුවූයේ වත්මන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එහි කළ නිරික්ෂණ චාරිකාවකින් පසුවය.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එළීමේ සමාරම්භක උත්සවයට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එච්.හාරිස්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ජාතික ඒකබද්ධතා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ මුජිබර් රහුමාන්, බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගිවීමට නියමිතය. 

නව අදහස දක්වන්න