පාසල් ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් | දිනමිණ

පාසල් ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්

 අපක්ෂපාතීව කටයුතු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට පාසල් මට්ටමින් ගත හැකි සියලු තීරණ ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ මුහුණ පා සිටින දරුණු පසුබෑම පිළිබඳ සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කීවේය.

අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් නියෝජිතයන් දෙදෙනකුට සහභාගි වීමට පෙර තිබූ අවස්ථාව යළි ලබාගැනීම, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් සංචිතයට ඇතුළත්වන සිසුන් සඳහා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීම, පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීම සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම පාසල් ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ අවශ්‍ය නීති රීති යාවත්කාලීන කිරීමත්, ක්‍රිකට් පුහුණුකරුවන් බඳවාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමත් විවිධ ආයතන මගින් සංවිධානය කරන තරගාවලි රාශියක් පැවත්වීම වෙනුවට තෝරාගත් තරගාවලි කිහිපයක් පමණක් පැවැත්වීමට කටයුතු කිරීම, දිවයිනේ පිහිටි ප්‍රමිතිගත ක්‍රිකට් ක්‍රීඩාංගනවල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පුහුණුවීමට අවස්ථා සලසාදීම සහ ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැති එහෙත් දක්ෂතා සහිත පාසල් ක්‍රීඩකයන්ට ඒ සඳහා යොමුවීමට අවශ්‍ය සහය ලබාදීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා විහේෂ උපදේශක කමිටුවක් මෙහිදී පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය,මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් මේ කමිටුව සමන්විත විය.

මේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක සේනානි හේවගේ, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද, සිදත් වෙත්තමුනි, රොජර් සෙනෙවිරත්න, මහේල ජයවර්ධන ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා පාසල ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...