ලෝක කණ්ඩායම පාකිස්තානයට පරදී | දිනමිණ

ලෝක කණ්ඩායම පාකිස්තානයට පරදී

 පාකිස්තානයට ක්‍රිකට් වසන්තය උදාකරමින් පෙරේදා ලාහෝර්හිදී ලෝක ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 20ක ජයක් අත්කර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් පසුවෙයි.

ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලෝක කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ලෝක පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 177ක් පමණි.

ලෝක කණ්ඩායම වෙනුවෙන් ඩැරන් සැමී පන්දු 16කදී නොදැවී ලකුණු 29ක් හා නායක ෆෆ් ඩු ප්ලෙසි පන්දු 18කින් ලකුණු 29ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන යෑමට උත්සහ කළද එය අසාර්ථක විය. සෑමි හතරේ පහරක් හා හයේ පහර 3ක් ඉනිමට ඇතුළත් කරගත් අතර හතරේ පහර 4ක් හා හයේ පහරක් ඩු ප්ලෙසිගේ ඉනිමට ඇතුළත් විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිලේ පළමු කඩුල්ල ලකුණු 8දී බිඳ වැටුනද විශිෂ්ට ඉනිමක් දියත් කළ බාබර් අසාම් ආරම්භක පිතිකරු අහමඩ් ශෙසාඩ් සමග එක්ව පන්දු 77කින් ලකුණු 122ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 120 දක්වා ඉදිරියට ගෙන ගියේය.

පන්දු 52කට මුහුණදුන් අසාම් ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 10ක් හා හයේ පහර 2කින් ඉනිම සරසා ගනිමිනි. පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 2ක් බිඳ දැමුවද පාකිස්තාන පිතිකරුවන් ඔහුගේ ඕවර 4 තුළදී ලකුණු 51ක් රැස් කිරීමට සමත් වූහ.

දෙපිල අතර දෙවැනි තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...