කොරියා තරගාවලිය කවිඳු පෙරේරාට අහිමි වෙයි | දිනමිණ

කොරියා තරගාවලිය කවිඳු පෙරේරාට අහිමි වෙයි

ෆවුස් මොහොමඩ්

ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ දෙවැනි අදියර ලෙස මේ මස දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත කොරියානු තරගාවලිය සඳහා කැඳවනු ලැබූ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රබල ක්‍රීඩකයන් වන ධනුෂ්ක රන්ජන් සහ චානක චන්දිමාල් නැවත එක්වී සිටිති.

මේ මස 23 සහ 24 දෙදින දකුණු කොරියාවේ ඉන්චෙං නුවර නැම්ඩොග් රගර් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රගර් දෙවැනි අදියරේ තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් මේ දිනවල සිදුකෙරෙන අතර ආබාධ හේතුවෙන් හොංකොං හී පැවැති පළමු අදියරේ තරගාවලියට එක් නොවූ ප්‍රවීණ ක්‍රීඩකයන් ධනුෂ්ක රන්ජන් සහ චානක චන්දිමාල් ඊට එක්වී සිටින බව ජාතික රගර් තේරීම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා ‘දිනමිණ’ට පැවැසීය. කෙසේවෙතත් බෙල්ලේ ආබාධයකට ලක්ව සිටි තවත් ප්‍රබල ක්‍රීඩකයකු වන රිචඩ් ධර්මපාලට දෙවැනි අදියරේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

‘හොංකොං තරගාවලියට එක් නොවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම නැවත පුහුණුවිම්වලට පැමිණියා. ඒ අතරින් රිචඩ් ධර්මපාල නම් තවම ශාරිරික යෝග්‍යතාව අතින් හොඳ තත්ත්වයක නෑ.

සූරියබණ්ඩාරත් පුහුණුවීම්වලට පැමිණ සිටිනවා. නමුත් කොරියානු තරගාවලියට ධනුෂ්ක රන්ජන්ට සහ පැපොල රෝගය නිසා හොංකොං තරගාවලියට යාමට නොහැකිවු චානක චන්දිමාල්ට අවස්ථාව ලැබේවි.’ ජයසේකර මහතා කීවේය.

ක්‍රීඩකයන් 16 දෙනකු මේ වනවිට පුහුණුවීම්වල නිරතව සිටින බව කී ජයසේකර මහතා අවසන් කණ්ඩායම හෙට (15) තෝරාගන්නා බව පැවැසීය.මේ අතර හොංකොං හී පැවැති පළමු අදියරේ තරගාවලියට ක්‍රීඩා කළ කවිඳු පෙරේරා ආබාධයකට ලක්වී සිටින බව ද ජයසේකර මහතා පැවැසීය. මීට අමතරව එම තරගාවලියට සහභාගි වූ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සමිත් ධනංජය ද දෙවැනි අදියරේ තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත බව ඔහු සඳහන් කළේය.

හොංකොං තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් පෑ යොවුන් ක්‍රීඩකයන් වන නවීන් හීනකංකානම්ගේට සහ බුද්ධිම පියරත්නට කොරියානු තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථාන රැක ගැනීමට හැකිවී තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...