මැතිවරණ ජය තහවුරු කරන්න ශ්‍රීලනිපයට මෙහෙයුම් කමිටු | දිනමිණ

මැතිවරණ ජය තහවුරු කරන්න ශ්‍රීලනිපයට මෙහෙයුම් කමිටු

ස්වර්ණා විජේකෝන්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මැතිවරණ මෙහෙයුම් කමිටු ගණනාවක් පත්කිරීමට පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව මැතිවරණ මෙහෙයුම් කමිටුව, නාමයෝජනා කමිටුව, ප්‍රචාරණ කමිටුව, ආදි වශයෙන් කමිටු ගණනාවක් පත්කර ඇති අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකිරිමටත් තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර පෙරේදා (12) රාත්‍රියේදි පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණ ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් ශක්තිමත්ව මුහුණ දීමට හැකි පරිදි පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම, ආසන බළ මණ්ඩල ශක්තිමත් කිරීම , දිස්ත්‍රීක් මට්ටමින් රැස්වීම් පැවැත්වීම ආදි කරුණුද මෙහිදි සාකච්ඡා කර ඇත.

ඒ අනුව ලබන 23/24 යන දිනවලදී දිස්ත්‍රීක් කිහිපයකදී දිස්ත්‍රීක් හා ආසන මට්ටමින් රැස්වීම් පැවැත්වීමටත් තීරණය කර තිබේ.

එමෙන්ම දිවයිනේ සෑම දිස්ත්‍රීක්කයක් සඳහාම දිස්ත්‍රීක්කය නියෝජනය කරන ඇමතිවරුන්ට අමතරව වෙනත් දිස්ත්‍රීක්කයන් නියෝජනය වන පරිදි එක් ඇමතිවරයකු බැගින් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පත්කිරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ සාකච්ඡාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැත්විණ. 

නව අදහස දක්වන්න