‍ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙල ලබන පෙබරවාරියේ මහ ඉහළින් | දිනමිණ

‍ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙල ලබන පෙබරවාරියේ මහ ඉහළින්

දුමින්ද ගුරුගේ

විශිෂ්ටතම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් සඳහා සම්මාන පිරිනැමෙන ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙල ලබන වසරේ පෙබරවාරි මාසයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සංවිධානය කරමින් සිටී.

මුද්‍රිත (පුවත්පත්), ගුවන් විදුලි, රූපවාහිනී සහ වෙබ් අඩවි යන අංශ 4ක් යටතේ මේ සම්මාන පිරිනැමීමට තීරණය කර ඇති අතර සැප්තැම්බර් 15 වැනි දින සිට ඔක්තෝබර් 15 වැනි දින දක්වා අයදුම්පත් භාරගැනේ.

මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදීන් සඳහා සම්මාන 17ක්, ගුවන් විදුලි මාධ්‍යවේදීන් සඳහා සම්මාන 12ක්, රූපවාහිනී මාධ්‍යවේදීන් සඳහා සම්මාන 17ක් සහ වෙබ් අඩවි මාධ්‍යවේදීන් සඳහා සම්මාන 05ක් මෙවර ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙලේදී පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවති සාකච්ඡාවකදී අනාවරණය කෙරිණි.

ප්‍රවීණ අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් මඟින් සම්මානලාභීන් තෝරාගැනීම සිදු කරන බවත් අමාත්‍යාංශය මඟින් මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ අනුග්‍රහය දැක්වීම පමණක් සිදු කරන බවත් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට තනි තනිව හෝ ආයතනික මට්ටමින් අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසාදීමටද තීරණය කර ඇත. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන පූර්ව ප්‍රචාරක දැන්වීම් මඟින් ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙල පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙතෙක් සංවිධාන කළ මේ සම්මාන උළෙල මින් පසුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධාන කිරීමට රජය තීරණය කළ බවද මෙහිදී අනාවරණය කෙරිණි.

ජනමාධ්‍ය රාජ්‍ය සම්මාන උළෙලට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල සහ‍යෝගය ලබාගැනීම සඳහා පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ. පී. ජයන්ත මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගි වූහ. 

නව අදහස දක්වන්න