දුප්පත් ගොවියාට සහන දෙන්න රජයේ අවධානය යොමුකළ යුතුයි | දිනමිණ

දුප්පත් ගොවියාට සහන දෙන්න රජයේ අවධානය යොමුකළ යුතුයි

අසේල කුරුළුවංශ

ජනපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා තමන්ට විදේශ රටවලින් ලැබෙන වටිනා ත්‍යාග පොදු ජන සුබසිද්ධිය පිණිස පූජා කරද්දී ඇතැම් දේශපාලනඥයන් තමන්ට ලැබුණු ත්‍යාග පෞද්ගලික කෞතුකාගාර ඉදි කරමින් තම සන්තකයේ තබා ගත් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුලකුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

මියන්මාරයෙන් පරිත්‍යාග කරන ලද අලියා දළදා මාලිගාවටත් රුසියාවෙන් ලැබුණු අසිපත ජාතික කෞතුකාගාරයටත් පරිත්‍යාග කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු මෙන්ම බලයට ඒමට සිටින නායකයන්ට ද ආදර්ශයක් සපයා තිබෙන බව ද උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (13) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් අනුනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ විමලධම්ම අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ දී දානමය පුණ්‍යකර්මයකට සහභාගී වීමෙන් අනතුරුව ඇමැතිවරයා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු අනුනාහිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ සුහඳ පිළිසඳරක යෙදුණේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුනාහිමියෝ ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිංස්කරණය කිරීමට ද ජනපතිවරයා හා අගමැතිවරයා මුදල් ලබාදුන් බවත් එය අගය කරන බවත් කීහ.

ඉදිරි අය-වැය සකස් කිරීමේ දී මෙරට දුප්පත් ගොවි ජනතාවට සහන සැලසීම සම්බන්ධනේ රජයේ අවධානය යොමුකළ යුතුව තිබෙන බවත් ඔවුන් නියඟයෙන්, ගංවතුරෙන් පමණක් නොව සතුන් ගෙන්ද පීඩාවට ලක්ව සිටින බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා බණ අහන ගමන් ඒවා පිළිපදින අය වගේම බණ අහලා පමණක් ඒවා පිළිනොපදින අයද සමාජයේ සිටින බවත් ජනපතිතුමා බණ අහන ගමන් බණ පිළිපදින අයකු බවත් පැවසුවේය.

මෙවර අය වැයෙන් නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට එක් කිරීම සඳහා වන විශේෂ යෝජනා ක්‍රියාවට නන්වන බවත් දැනට පුරන් කුඹුරු ලෙස අත්හැර තිබෙන කුඹුරු අක්කර 130000ක් යළි වගා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බවත් ඒ මහතා කීය.

වැඩිහිටි පරම්පරාව ගොවිතැන් කටයුතුවල නිරත වුවත් තරුණ පරපුර ගොවිබිම් අතහැර නාගරික ප්‍රදේශවලට ගොස් ආරක්ෂක සේවා රාජකාරීවල පවා නිරතව සිටින බවත් මේ නිසා කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය මානව සම්පතේ අඩුවක් දක්නට ලැබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

කුඹුරේ හිමිකරු කුඹුර වගා කිරීමට අකමැති නම් වෙනත් අයෙකුට එය වගා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන බවත් ගොවි සංවිධානයකට හෝ තනි පුද්ගලයකුට බදු පදනම මත මෙම කුඹුරු ලබා දුන්නත් මුල් හිමිකරුගේ අයිතියට ගැටලුවක් ඇති නොවන බවත් ඇමැතිවරයා කීවේය.


අදහස් 1ක් ඇත

hm !

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...