අබුඩාබි හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනයට පියවර | දිනමිණ

අබුඩාබි හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනයට පියවර

අබුඩාබි රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අබුඩාබි රාජ්‍යයෙහි මානව සම්පත් හා කම්කරු අමාත්‍ය Saqr Ghobsh මහතා පැවසීය.

අබුඩාබි සංවාදයේ සභාපතිනි, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ දිනවල අබුඩාබි රාජ්‍යයේ සංචාරයක නිරත වේ. ඒ අනුව ඇය ඊයේ(130 අබුඩාබි රටෙහි පිහිටි අබුඩාබි සංවාදයේ ලේකම් කාර්යාලයේදී එරට මානව සම්පත් හා කම්කරු අමාත්‍යවරයා මුණ ගැසුනි.

එහිදී දෙරට අතර පවතින ද්වීපාර්ශවික සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා දෙරටේම නියෝජිතයින් සාකච්ඡා කළ අතර, අබුඩාබි සංවාදයේ සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, එමගින් දෙරට අතර පවතින සහයෝගීතාව තවත් ශක්තිමත් වන බවත් අබුඩාබි රාජ්‍යයෙහි කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, අබුඩාබි රාජ්‍යය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සහයෝගීතාව අගය කරන බවය. අබුඩාබි සංවාදයේ සභාපතීත්වය පවතින වසර දෙක තුළ දෙරටේ සහයෝගීතාව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බව ද ඇය කියා සිටියාය.

ඉන් අනතුරුව අමාත්‍යවරිය අබුඩාබි සංවාදයට අයත් රටවල් 18හි අබුඩාබි රාජ්‍යයේ සිටින සියළු තානාපතිවරුන් සමග අබුඩාබි සංවාදයේ ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කරන ලදී. එහිදී මේ වන විට අබුඩාබි සංවාදය ඇතිකරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව හා ඉදිරියට අබුඩාබි සංවාදය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම පිළිබඳවත් සාකච්ඡා කළහ. අබුඩාබි සංවාදයේ සභාපති ලෙස තලතා අතුකෝරළ මහත්මිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එම තානාපතිවරුන් ප්‍රශංසා කළ අතර අවශ්‍යකරන සහයෝගය අමාත්‍යතුමියට ලබාදීමටද ඔවුන් එකග විය.

විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ තාවකාලික ශ්‍රමය යොදාගැනීමට අදාළ ජාතික නීතිරීති හා සාමාජික රාජ්‍යයන්හි ඒකාබද්ධ වගකීම පිළිගැනීමේ අරමුණ සහිතව ස්වේච්ඡා රාජ්‍ය ප්‍රවේශයක් ලෙස අබුඩාබි සංවාදය ස්ථාපිත කරනු ලැබුවේ 2008 වසරේදීය. වර්තමානයේ මෙම සංගමය රටවල් 18කින් සමන්විත වේ. මෙහි සාමාජික රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය, බහරේනය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මැලේසියාවයි.

අබුඩාබි සංවාදය 2017 ජනවාරි මස 23 වන දින කොළඹදී පැවැත්වුණු අතර, එහිදී වසර දෙකක කාලයක් සඳහා එහි සභාපතිත්වය අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවිය. ඇයට පෙර එහි සභාපතීත්වය දරනු ලැබුවේ කුවේට් රාජ්‍යයේ සමාජ කටයුතු හා කම්කරු අමාත්‍ය හා ආර්ථීක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරියයි.

නව අදහස දක්වන්න