සහයෝගීතාව වර්ධනය කළ සාර්ක් වෙළෙඳ ප්‍රදර්ශනය | දිනමිණ

සහයෝගීතාව වර්ධනය කළ සාර්ක් වෙළෙඳ ප්‍රදර්ශනය

ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ සංවිධානය කෙරෙක වෙළෙඳ ප්‍රදර්ශන කොතෙකුත් වෙයි. නමුත් සාක් ව්‍යාවසායකත්ව සමුළුවට සාපේක්ෂව පසුගිය 7, 8, 9 තෙදින තුළ පවත්වන ලද වෙළෙඳ ප්‍රදර්ශනය නව මුහුණුවරක් ගත්තේ සාක් කලාපීය ව්‍යාපාරික ප්‍රජාවගේ සහෝදරත්වය, සුහදත්වය, මිතුරු බව තහවුරු කරමිනි. සාක් වානිජ හා කර්මාන්ත සම්මේලන‍ මණ්ඩලය නියෝජනය කරන මෙරට ප්‍රමුඛයා වන්නේ ජාතික කර්මාන්ත හා වානිජ මණ්ඩලයයි. 

2018 වසරේ දී සාක් වානිජ මණ්ඩලයේ සභාපතිත්වය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි.

ඒ සාක් වානිජ මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන රුවන් එදිරිසිංහ මහතායි. ප්‍රදර්ශන භූමියේ කාර්ය බහුල බව අතරේ දී මාධ්‍ය අමතමින් ඔහු පැවැසුවේ ‘සාක් වානිජ හා කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථක ප්‍රතිඵල නෙළා ගත් වෙළෙඳ ප්‍රදර්ශනයක් මෙන්ම සමුළුවක් බව මේ වන විටත් තහවුරු වෙමින් පවතිනවා, අපගේ ආරාධනය පරිදි ප්‍රදර්ශනය විවෘත කිරීමට ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙක් ලෙස පැමිණියේ සරත් ‍අමුණුගම අමැතිවරයා. මම මේ අවස්ථාවේ එතුමන්ට විශේෂයෙන් ස්තූතිය පළ කරනවා. මේ ප්‍රදර්ශනය සඳහා සුළු, මධ්‍ය පරිමාණ මෙන්ම විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන් සහභාගි වෙනවා. වෙළෙඳ කුටි 120ක් පමණ පවතිනවා, ඒ අතරින් 100ට ආසන්න සංඛ්‍යාවක් ද විදේශීය ව්‍යාපාරිකයන් තිස් දෙනකු පමණ දේශීය ව්‍යාපාරිකයන්, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට දිරිදීමක් වශයෙන් ඉතාමත් සහනදායී මිලකටයි මේ වෙළෙඳ කුටි ලබා දී තිබෙන්නේ‍. මෙයින් අපේක්ෂා කරන්නේ කලාපය තුළ වෙළෙඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීමයි.’

සාක් කලාපයේ සභාපති වීමෙන් අනතුරුව කලාපය තුළ ව්‍යාපාරික කටයුතු වැඩි දියුණු කිරීම සඳහා නව වැඩ පිළිවෙළක් සැකසීමයි අප‍ගේ අරමුණ, මේ සඳහා රටවල් අතර තිබෙන පරස්පරතා, දේශපාලන මතවාද, ආරක්ෂක ක්‍රමෝපායන් බාධාවක් නොකරගෙන කටයුතු කිරීමට තරම් සාක් වානිජ මණ්ඩලය ශක්තිමත් බවයි අපගේ විශ්වාසය. මෙබඳු වැඩසටහන් ඔස්සේ අප දියුණු කර ගැනීමට උත්සාහ දරන්නේ එම විශ්වාසයයි.

ඉන්දියානු ආහාර, නේපාලයේ සම් භාණ්ඩ, මුම්බායි සාරි, මනිපුරිසාරි, දුර ඈත ගමකින් ගෙන ආ පන් කොළ වියමන්, ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ දෑතේ වීර්යයෙන් වියන ලද සාරි, දොදොල්, රස කැවිලි, සෙල්ලම් බඩු මේ සියල්ල එකම පියසක දැකීමෙන් තෙත් වසඟ වෙයි. ‘ඉන්දියාවේ සිට පැමිණ සිටි අගතිකාගේ ප්‍රදර්ශන කුටිය නෙක විසිතුරු වර්ණයන්ගෙන් සමන්විත නවතම ඉන්දීය නිමි ඇඳුමින් සමන්විත විය. ඇය පැවසුවේ ‘මේ සියල්ල අතින් කරන ලද නිර්මාණ බවයි. මාස දෙක තුකක කාලයක් වැය කරමින් නිර්මාණය කරන ලද එම නිර්මාණ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය මෙන්ම එළවළු වර්ණ යොදා ගන්නා බව අගතිකා පවසන්නේ ඒ සඳහා ගෝලීය වශයෙන් පවතින උනන්දුව හා ඉල්ලුම පිළිබඳ සිහිපත් කරමිනි. ප්‍රදර්ශන භූමියේ පැවැති ආහාර කුටි අතර ඉන්දියානු කුස්සිය විශේෂ විය. එහි ගෘහනියන් වූයේ නවදිල්ලියෙන් පැමිණි සොයුරියන් දෙදෙනකි. ඉට්ලි, රස කැවිලි, තෝසේ මෙන්ම නොයෙකුත් අතුරු පස එහි විය. සැබැවින්ම ශ්‍රී ලාංකික අපට හුරු පුරුදු ඉන්දීය වට්ටෝරු රැසක් එහි දී රස විඳීමේ අවස්ථාව උදාවී පැවැතිනි.

හෑන්ලූම් රෙදි ‍ඇසුරින් නවීන ආකාරයකට අත්කම් භාණ්ඩ ඉදිරිපත් කළ කුටියක් වෙත අප සමීප විය. එහි හිමිකාරිය වූයේ තිළිණි ජයවර්ධන මහත්මියයි. ඇය පැවැසුවේ අත්කම් රෙදිපිළි ඇසුරින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන සාම්ප්‍රදායික නිර්මාණ වෙනුවට නවීන ආකාරයේ හැඩතල පතොරොම් වර්ණ භාවිත කරමින් නිර්මාණ කිරීමට පෙ‍ළඹුන බවයි ඈ පවසන්නේ.

වසර දහයක් පමණ කාලයක් පුරා දියුණු කරමින් පැමිණෙන ඇයගේ ව්‍යාපාරයට දායකත්වය දක්වන ස්ථිර සේවක පිරිස 15 දෙනෙකි. දස දෙනකු පමණ කොන්ත්‍රාත් පදනමට මේ අත්කම් නිෂ්පාදන නිර්මාණය කිරීමේ කාර්යයේ නිරතව සිටී. මෙවැනි ප්‍රදර්ශනවලට සහභාගිවීමෙන් සබඳතා ශක්තිමත්‍ කර ගත හැකියි. අපගේ මීළඟ අරමුණ අපනයන වෙළෙඳ‍‍ පොළ ජය ගැනීමයි.

මෙවැනි ප්‍රදර්ශනවල දී විදෙස් ගැනුම්කරුවන් හමුවෙනවා, වානිජ මණ්ඩලයේ සංවිධානයෙන් යුතුව සහභාගි වූ ඉන්දීය වෙළෙඳ ප්‍රදර්ශනයේ දී ගැනුම්කරුවන් හමු වුණා. වානිජ මණ්ඩලයත් සමඟ කටයුතු කිරීමෙන් අප සතු ශක්තිය තව දුරටත් තහවුරු කර ගත හැකියි.’ ඇය සඳහන් කරන්නේ අපේක්ෂා සහගතවය. 



නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...