මිල කළ හැකි නොහැකි Edex Expo 2017 | දිනමිණ

මිල කළ හැකි නොහැකි Edex Expo 2017

මදාරා මුද­ලිගේ  

 

සෑම වසරකම කොළඔ රාජකීය විද්‍යාලයේ උපදේශක සහ කළමනාකරණ කමිටුව විසින් සංවිධානය කරනු ලබන අගමැති කාර්යාලය,අධ්‍යාපන අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, ජාත්‍යාන්තර කම්කරු සංවිධානය යන ප්‍රධාන අමාත්‍යාංශ ගණනාවක් අනුමත කරන ලද ‘‘ Edex Expo 2017- Education Exhibition and Job Fair “ පසුගිය අන්තයේ දී ශ්‍රී ලංකා ප්‍රරදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයෙහි පැවැත්විණි.

සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ විභාග ප්‍රතිඑල බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට මෙන් ම උසස් පෙළ විභාගයේ දී බලා ගත් ප්‍රතිඑලවලට අනුව තමන් අනාගතයේ දී කුමන වෘත්තීයක නියළිය යුතු ද? තමන්ට සුදුසු උපාධි පාඨමාලාවක් ද? ඩිප්ලෝමා පාඨමාලාවක් ද? එසේ නම් තමන් උසස් අධ්‍යාපනය හැදෑරිය යුත්තේ කිනම් අධ්‍යාපන ආයතනයේ ද ? යන්ට පිළිබඳව තිබෙන ගැටලු නිරාකරණය කරගෙන තමන්ට සුදුසු විසදුමක් මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය මඟින් ලබා ගත හැකි ය. එමෙන් ම සෑම දරුවකුගේ ම අනාගත සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට අත්වැළක් සපයන අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ද මෙම ප්‍රදර්ශනය හැදින්විය හැකි ය.

උසස් අධ්‍යාපනයට පිවිසීමට බලාපොරොත්තුවක් තිබුණද සමහර දරුවන්ට තමන්ගේ ආර්ථික අපහසුතාවයන්ට මැදි වන්නට සිදුවේ. එවැනි දරුවන්ගේ අනාගත සිහිනය සඑල කර ගැනීම සදහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.“ජාතික ඉතිරි කිරීමේ බැංකුව පිළිගත් දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයන්හි/ ආයතනයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්හට NSB බුද්ධි උසස් අධ්‍යාපන ණය ක්‍රමය තරඟකාරී පොලී අනුපාතයන් යටතේ හදුන්වා දීලා තියෙනවා. අපේක්ෂකයින් රැකියාවක නිරත නොවේ නම් ඔවුන් හට දෙමව්පියන්ට හෝ දරුවන් සමඟ සම්බන්ධව ණය සඳහා අයදුම් කරන්නට පුළුවන්. ‍ෙවිදේශ අධ්‍යාපන ණය මුදල රුපියල් මිලියන 10 ක් හෝ සම්පුර්ණ පාඨමාලා ගාස්තුවෙන් 75% ක් වෙනවා. ඒ වාගේ ම දේශීය අධ්‍යාපන ණය මුදල රුපියල් මිලියන 5 ක් හෝ සම්පුර්ණ පාඨමාලා ගාස්තුවෙන් 75% ක් යන දෙකෙන් අවමය වෙනවා. ප්‍රදානය කරනු ලබන ණය මුදල් ප්‍රමාණය අයදුම්කරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාව මත රඳා පවතිනවා.

අප බැංකුව මඟින් උසස් පෙළ අවසන් වු සිසුන් ඉදිරියේ දී තෝරා ගත යුතු විෂය ක්ෂේත්‍රයන් මොනවා ද? තමන්ට ගැළපෙන විෂය ක්ෂේත්‍රයන් මොනවාද යන්න පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම සඳහා දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කර තියනවා. මෙම සම්මන්ත්‍රණ සඳහා දේශනවලට සහභාගී කර ගන්නේ ශ්‍රී ලංකාවේ සිටින විද්වතුන්වයි. දරුවෙකුට තමන්ගේ වෘත්තීය නිවැරදිව තෝරා ගැනීමට අස්වැසිල්ලක් වනවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර www.nsb.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. “යනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණය අංශයේ ජේෂ්ඨ කළමණාකාර සමන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මෙහි දී දේශිය මෙන්ම විදේශීය පෞද්ගලික අධ්‍යාපන ආයතන නිලධාරීන් විසින් ඉදිරි අනාගතයේදී රැකියා වෙළෙදපළෙහි වැඩි ඉල්ලුමක් පවතින උපධි සහ ඩිප්ලෝමා පාඨමාලාවන් පිළිබදව සිසුන්ව දැනුවත් කරන ආකාරය දැකගත හැක විය. එසේ නම් මේ එවැනි අධ්‍යාපන ආයතනවල නිලධාරීන් පැවසු අදහස් කිහිපයකි.

NIBM (National Institute of Business Management)හි තොරතුරු තාක්ෂණය පිළිබඳ උපදේශකවරයෙකු මෙන් ම ආචාර්යවරයෙකු වන කේශාන් ප්‍රනාන්දු මෙසේ ප්‍රකාශ කළේ ය.

“උසස් පෙළ අවසන් කළ කෙනෙකුට අප ආයතනය තුළින් ව්‍යාපාර කළමනාකරණය, වෙබ් අඩවි නිර්මාණකරණය, පරිගණක තාක්ෂණය යනා දී විෂය ක්ෂේත්‍ර ගණනාවක්ම හැදැරීමේ අවස්ථාව ලබා දෙනවා.අපේ ප්‍රධානතම උපාධි පාඨමාලාවන් තමයි ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණ පාඨමාලාවන්. උසස් පෙළ විෂයන් තුනකින් සමත් ව හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය ඇතුළුව විෂයන් 5 කට C තිබෙනවානම් අපේ එක් වසරක ADBM එක කරන්න පුළුවන්. ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවෙන් පසුව අපි එම ක්ෂේත්‍රය තුළම පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේ ම අපි අලුතින් පටන් අරගත්තා DESING SCHOOL එකක්. එමගින් අපි රැකියාවකට පුහුණු කරනවා වෙනුවට පුද්ගලයෙකුව ව්‍යවසායකයකු ලෙසට සමාජයට යොමු කිරීම තමයි සිදු කරන්නේ. අළුතින් සංකල්පයක් පිළිබඳව සිතන්න, පුරුදු කිරීම තමයි මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ. ව්‍යවසායකයෙකු ලෙස අළුතින් යම් ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට අපගේ උසස් අධ්‍යාපන ආයතනයත් සමඟ සම්බන්ධ විය හැකිය.“

Colombo Institute of research and psychology( කොළඔ මනෝවිද්‍යා හා පරීක්ෂණ ආයතනය)හි නිළධාරියකු වන ගනේෂ් සෙල්වරත්නම් තම අදහස් මෙසේ ප්‍රකාශ කළහ.

“මනෝවිද්‍යාව පිළිබඳව අවුරුදු 03 ක උපාධියක් අප ආයතනයෙන් උසස් පෙළ අවසන් කළ දරුවන්ට හදාරන්න පුළුවන්. ඒ වගේ ම සාමාන්‍ය පෙළ දරුවන්ටත් මනෝවිද්‍යාව පිළිබඳ එක් අවුරුද්දක පාඨමාලාවක් හදාරන්න අවස්ථාව ලබා දී තියෙනවා.ව්‍යාපාරික මනෝවිද්‍යාව, ව්‍යවහාරික මනෝවිද්‍යාව ලෙස අපේ විශේෂ පාඨමාලාවන් දෙකක් තියෙනවා. ව්‍යාපාරිකයින්ගේ මනස සංවර්ධනය කිරීම සඳහායි ව්‍යාපාරික මනෝවිද්‍යාව හදුන්වා දී තියෙන්නේ. ඒ වාගේ ම ව්‍යවහාරික මනෝවිද්‍යාව හැදැරීමට අපි නිර්දේශ කරන්නේ විශේෂයෙන් ම මනෝ චිකිත්සකවරුන්ටයි., හෙදියන්ටයි.ඒ වාගේ ම දැනට මනෝ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ යෙදෙන කෙනෙකුටත් තම දැනුම වර්ධනය කර ගැනීමට මෙයින් හැකි වෙනවා.

අපගේ මනෝවිද්‍යා හා පරීක්ෂණ ආයතනය මගින් මනෝවිද්‍යාව හදාරා කථිකාචාර්යවරයෙක් වන්නටත් අවස්ථාව තිබෙනවා. මනෝවිද්‍යාව පිළිබඳව විද්‍යා වේදියෙකු වීමට බලාපොරොත්තුවන කෙනෙකුටත් ඒ ක්ෂේත්‍රය පිළිබඳව ඉහළම නිපුණත්වයක් ලබා ගන්න පුළුවන්. අපි අලුතින් ආරම්භ කරලා තියෙනවා විශාදය නමැති මානසික රෝගී තත්ත්වය නැති කර ගැනීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් . මනෝවිද්‍යා කථිකාචාර්යවරයෙකු වීමට කැමති ඕනෑම කෙනෙකුට අප ආයතනය සමඟ සම්බන්ධ විය හැකියි.“

“අපගේ උසස් අධ්‍යාපන ආයතනයෙහි school of computing, business school,law school, school of postgraduate studies and research යනා දී විෂය ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත වෙනවා. අප මෙම ආයතනයෙන් ඉගෙන ගන්නා සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරනවා. විශේෂයෙන් ම ආර්ථික අපහසුතාවන් ඇති සිසුන්ට සහනදායී ක්‍රමයකට ඉගෙන ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයන් සකස් කෙරෙනවා.

අපගේ අධ්‍යාපන ආයතනයේ සාමාන්‍ය පෙළ අවසන් කළ දරුවෙකුටත් ඉගෙන ගත හැකියි. ඔවුන්ට අපි British Degree in Computing, Business management, සහ law යනා දී Degree Foundation programmes හදුන්වලා දීලා තියෙනවා. ආර්ථික අපහසුතාවයන් තිබෙන දරුවන්ටත් යම් සහනයක් ඉටු කරන නිසාත් මුළු ලෝකයේම පිළිගත් උපාධි පාඨමාලාවන් අප අධ්‍යාපන ආයතනය සතුව පවතින නිසාත් උසස් රැකියාවක නිරත වන්නට කැමැත්තෙන් සිටින දරුවන්ට අප සමඟ විශ්වාසනීයත්වයෙන් යුතුව සම්බන්ධ වීමට පුළුවන්.“ යනුවෙන් APIIT ( Asia Pacific Institute of Information හි මහාචාර්ය කෝසල යාපා බණ්ඩාර මහතා පැහැදිලි කළේ ය.

විදේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් දැනුවත් කිරීම් කරන ලද්දේ විදේශික ආචාර්ය,මහාචාර්යවරුන් විසින් ය. ඔවුන් තම අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලාවන් පිළිබදව දැනුවත් කළේ අත් පත්‍රකා ද ලබා දෙමිනි. තොරතුරු තාක්ෂණ විෂය සදහා බොහෝ පෞද්ගලික ආයතන මෙරට පමණක් නොව විදේශයන්හි ද පිහිටා ඇති බව මෙම ප්‍රදර්ශනයේ දී අපට වටහා ගත හැකි විය.මෙම අධ්‍යාපන ප්‍රදර්ශනයේ ආයතන කුටි වෙත යන අතර වාරේ දී මෙවර උසස් පෙළ විභාගය ලියු දරුවන් කිහිප දෙනෙක් මුණ ගැසුණහ. “අපි මේ අවුරුද්දේ උසස් පෙළ කළේ විද්‍යා විෂයන්ගෙන් . මේ ප්‍රදර්ශනයට ආවට පස්සේ අපි ඉදිරියට කරන්න ඕනේ මොන වගේ රැකියාවක් ද ? ඒ වාගේ ම අනාගතයේ දී ඉල්ලම වැඩිම රැකියා ක්ෂේත්‍රයන් මොනවා ද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත්තා. ඒ වාගේ ම රජයේ විශ්ව විද්‍යාලයකට යන්නට බැරි වුණොත් පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අපේ වෘත්තීය සුදුසුකම් සම්පුර්ණ කර ගන්න ආකාරයත් අපි දැන ගත්තා. “යනුවෙන් කොටිකාවත්තේ සිට පැමිණි පමලි සහ මලීෂා තම අදහස් ප්‍රකාශ කළේ ය.

‘“මෙම ප්‍රදර්ශනයේ විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපන ආයතන එකම ස්ථානයක දී අපිට දැක ගැනීමට ලැබුණා. අපේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දිය යුත්තේ කුමන විෂය ක්ෂේත්‍රය ඔස්සේ ද කියා නිරවුල් කර ගැනීමට මෙය හොඳ අවස්තාවක් වුණා . යනුවෙන් මවක වන ශෙවානි ඩීන් ප්‍රකාශ කළා ය. 

 

නව අදහස දක්වන්න