රටේම ළම­යින්ට සුදු රෙදි දුන් P.T.I. ටෙක්ස්ට­යිල්ස් | දිනමිණ

රටේම ළම­යින්ට සුදු රෙදි දුන් P.T.I. ටෙක්ස්ට­යිල්ස්

 
නුවන් මහේෂ් ජය­වි­ක්‍රම
 

ඉදලක ඉරටු පොකුරේ හැඩේට එකම රෙදි වියන මැෂිමක පොදිකන නූල්. ඒ වගේ පාට පාට නූල් පුරෝගත්ත තඩි නූල් රීල්වලින් ලිහෙන කපු, පොලියෙස්ටර්, ස්වභාවික සිල්ක් ආදී නූල් වැල් පුංචි පුංචි පන්දුවලට එතෙන (පර්ල් කරන) මැෂින්. ඒ චූටි පාට පාට නූල් රීල්වලින් සේල ගොතන්නට ටක ටකස් හඬින් දතකන සද්දන්ත මැෂින්. ඔය චුට්ටයි.

ඉදින් ඒ ජවසම්පන්නයන් ඇසුරේ වරුවක් ගෙවන්නයි මේ සූදානම. කොළඹින් පිළියන්දලට, එතැනින් මඩපාත - කහපොළට ඉතින් අපි දැන්, ඒ ග‍මනේ ගමන් විඩාව සැණින් නිවෙනා හරිත පරිසරයක.

රුපියල් දහසකින් පවුලටම ඕනෑ කරන ඇඳ ඇතිරිලි, තුවා, කර්ට්න් ආදිය මිලට ගත හැකි එකම අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනාගාරය. අදටත් රටේම පාසල් වයසේ සිටිනා දුවා දරුවන්ට නිල ඇඳුම් සඳහා වගකීමෙන් යුතුව ප්‍රමිතිගතව රෙදි සැපයිය හැකි දේශීය රෙදිපිළි කර්මාන්ත ශාලාව. එහෙත් අත්තනෝමතික ඇතැම් රෙදිපිළි ආනයනකරුවන්ගේ කෙනහිලිකම්වලට නතුව අදටත් ටොන් ගණනක පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් ගබඩා කොටගෙන ඒ කෝටි ගණනක පාඩුව දරා ගනිමින් නමුත් නොවැටී සිටිනා කොළඹ දිස්ත්‍රික්කයේම පිහිටි සුවිසල් දේශීය නවීන අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනාගාරය.

රෙදිපිළි නිෂ්පාදනාගාරයෙන් අලුත් සුවඳ පිටින් කෙළින්ම තමන්ගේම සුවිසල් අලෙවිසැළටම ගෙනෙනා වෛවර්ණ රෙදි රීල් පිටින් පවා අතරමැදියන්ගෙන් තොරව ආකර්ෂණීය අඩු මිලට ලබාගත හැකි මඩපාත සළුපිළි මාලිගය. රෙදි හැරෙන්නට කපු, ස්වභාවික කොට්න්, ලිනන් ආදි වෙළෙඳපොලේ වැඩිම ඉල්ලුමක් තිබෙනා රෙදිපිළිවලින් නිම වූ සිය දහස් ගණන් ළමා කාන්තා, පිරිමි ඇඳුම්, ඒ සියල්ලම ඕනෑම ප්‍රමාණයකින් තොග වශයෙන් වගකීමක් සහිතව මිලට ගත හැකි ස්ථානය. ජපානයේ නිෂ්පාදිත නවතම (2016) රෙදි පිළි රූ රටා නිමවුම් යන්ත්‍රයක් ඔස්සේ පරිගණකය සහ පෙන්ඩ්‍රයිව් උපාංගය හරහා දසදහස් ගණන් අලුත් මෝස්තර මැවිය හැකි දේශීය ව්‍යවසායකයකු සතු නවීන රෙදි පිළි නිෂ්පාදනාගාරය. මොරටුව විශ්වවිද්‍යාලයීය සිසුන්ට නොමිලයේ රෙදිපිළි නිෂ්පාදනය පිළිබඳ පුහුණුව සපයනා මඩපාත රෙදිපිළි කර්මාන්ත ශාලාව. ත්‍රිවිධ හමුදාවට, පොලිසියට වුවමනා කරන ඇද ඇතිරිලි, තුවා , නිල ඇඳුම් රෙදිවලින් වැඩිම ප්‍රමාණයක් නවීන තාක්ෂණයෙන් යුතුව ශ්‍රී ලංකාවේදීම නිපදවන යන්ත්‍රාගාරය ‘මඩපාත හෑන්ඩ්ලූම් පැක්ටේරිය’

මේ කොයියම් අන්දමින් හැඳින්වුවත් ඒ එකම තැනකි. ඒ ‘P.T.I. ටෙක්ස්ටයිල්’ බව පිළියන්දල අවට හුඟ දෙනකුට නම් අමුතුවෙන් පැහැදිලි කිරීමක් වුවමනා නොවේ.

කලින් කලට ඉතා අඩු මිලට නිෂ්පාදනාගාරයෙන්ම සේල් දමනා නිසා කටින් කට පැතුරුණු P.T.I. කීර්ති නාමය දැන් පිළියන්දලින් එපිටත් එසේමයි. එහෙත් ඒ ගමන අදින් දශක ගණනාවකට ඉහතදී තනි පුංචි මිනිසකුගේ සිතිවිල්ලක් මල්ඵල දැරීමක් වග නම් තවමත් හුඟ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවන්.

‘1975 – 80 කාලේ දේශීය අත්යන්ත්‍ර රෙදිපිළිවලට හොඳ වෙළෙඳපොළක් තිබුණා. මමත් රැකියාවක් කරනා අතරේ අර්ධකාලීනව මැෂින් දෙකක් යොදාගෙන හෑන්ඩ්ලූම් ටෙක්ස්ටයිල්ස් දිහාට හැරුනේ.

ජපානෙන් ගෙන්වා ගත්ත ඒ මැෂින් දෙකෙන් දිගටම දවල් රෑ නැතිව වැඩ කළා. දැන්නම් ඒ කාලේ තිබිච්ච මේ වගේ ෆැක්ට්‍රිවලින් 90%ක්ම වහලා. ඒ කොයිහැටි වෙතත් සේවක සේවිකාවනුත් දෙතුන් දෙනා වැඩිවුණා. මමත් ඉඩකඩම් අරන් හෑන්ඩ්ලූම් නිෂ්පාදන වැඩි කළා. කාලයක් තිස්සේ කිසිම අඩුපාඩුවක් නැතිව පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි දුන්නේ අපි. ඒ ටෙන්ඩරය මා අතින් ගිලිහිලා පිටරටින් රට රෙදි වැහි වහින්න ගත්තාම අපිත් බලධාරින්ට කරුණු පෙන්වා දෙන්න බැලුවා. ඒ පුද්ගලිකව අපේ අවාසිය විතරක් නෙවෙයි රටක් ජාතියක් විදියට ශ්‍රී ලාංකිකයාගේ හෙට දවසේ රෙදි පිළි නිමි ඇඳුම්වල තත්ත්වයේ, ප්‍රමිතියේ අවදානම දැකලා. ඒත් පමා වී හරි ඒ කාරණා බලධාරීන්ටත් තේරේවි අදටත් මං ගබඩා කරන් බලාසිටින දේශීයව නිපැයූ පාසල් නිල ඇඳුම් රෙදි ගම්බද පාසල් දරුවන්ටවත් සහන මිලට ලබාදිය හැකිනම් එයින් රටට වෙන්නේ යහපතක්.

කොහොම වුණත් මං මට මඟහැරවූ තැනින් වෙළෙඳපොළ දිහෑවට හැරුණා. අදටත් මඩපාත ෆ්‍රැක්ට්‍රියේ විතරක් නෙවේ කළුතර ඇතුළු අපේ කම්හල් තුනේම රෙදි නිපදවන්නේ දේශීය වෙළෙඳපොළටමයි. දැන් දැන් හෑන්ඩ්ලූම් සාරි, සල්වාර්, ලුංගි, සරොම්, කමිස ළමා, බිළිඳු ඇඳුම් පැළඳුම්වලට හොඳ වෙළෙඳපොළක් සෑදෙමින් තියෙනවා. රට රටවල රෙදි අපට එච්චර අල්ලන්නේ නැති විත්තිය ශ්‍රී ලංකාවේ හුඟක් ඇත්තන්ට වැ‍ටහෙමින් තිබෙනා වග මටත් අසන්නට දකින්නට ලැබෙනා දෙයින් පසක් වෙනවා. ඒ හුඟක් ඒවා බාලයි කියලා නැ‍ඟෙන මැසිවිල්ලත් කලෙක ඉඳන්ම රටේ පවතින්නේ. එය එසේ තිබියදී දේශීය රෙදිපිළි නිෂ්පාදකයා කරවටක් බදු බරේ ගිල්වීම නම් හොඳ දෙයක් නෙවෙයි කියනා මතයේ තමයි මේ කර්මාන්තයේ නියුතු හුඟ දෙනෙක් සිටින්නේ. ඔවුන්ගේ අපේක්ෂාව දේශීය ව්‍යවසායකයන්ට සහන සපයන හෙටක්. ඉතින් හෑන්ඩ්ලූම් හොයන් කොළඹ නගරයෙන් ඈතයි කියලා වෙනසක් නැතිව අප සොයා මඩපාත - කහපොළට පැමිණෙන ප්‍රජාවගෙන් ඔවුන් මේ නිෂ්පාදනවලට දක්වන කැමැත්ත පෙනෙනවා. පාරිභෝගික ඉල්ලීම මත අපි ළඟදීම කැස්බෑවෙත් ප්‍රදර්ශනාගාරයක් අරඹනවා. ඒ සමඟ කොළඹ පිටකොටුවේ අපගේ කාර්යාලය හරහාත් රෙදිතොග ඇනවුම්කරුවන්‍ටත් අප සමඟ ගනුදෙනු කටයුතු තවත් පහසු වේවි...’ ඒ P.T.I. නිර්මාතෘ මෙන්ම එහි සභාපතිත්වය ද දරන ජේ.එස්.හෙට්ටිආරච්චි සිනාමුසු මුහුණින් කරනා අදහස් දැක්වීමයි.

ඔහුත් සමඟ මේ දිගු ව්‍යාපාරික ගමනේ නිරත අලෙවි කළමනාකාර අජිත් ලියනගේ මෙන්ම, එස්.ජී.විදානගේ (උපදේශක - ඉංජිනේරු) පද්මසිරි රණවකාරච්චි(කළමනාකරණ උපදේශක) නෙවිල් රණතුංග (ගිණුම් උපදේශක) ආදින් සමඟ අත්වැල් බැඳගත් P.T.I. කළමනාකරණ අධ්‍යක්ෂ මණ්ඩලයේ මංජුලා හෙට්ටිආරච්චි, චානක දුමින්ද, ප්‍රභා හෙට්ටිආරච්චි, චරිත් පෙරේරා, පවනි හෙට්ටිආරච්චි ආදිහු ද P.T.I. ටෙක්ස්ටයිල් පිරිවරට ‍නායකත්වය සපයන කණ්ඩායමෙන් කොටසක් පමණි.

සිවුරු රෙදි මෙන්ම දානමාන කටයුතුවලදී වුවමනා කරන පූජ්‍ය පක්ෂයට පිදෙන ඇඳ ඇතිරිලි, තුවා ආදිය සම්බන්ධයෙන් ද P.T.I. නම් දරා සිටියි. ඒ ඇතුළු සියලු රෙදිපිළි නිෂ්පාදනයේදී සහන මිලට ඉහළ තත්ත්වයෙන් යුතු කල් පවතින නිෂ්පාදනයක් වෙළෙඳපොළට යැවීම P.T.I. පරමාර්ථය බව එම පිරිවර කියයි. හැඩට වෙනස් විදියකට අඳින්නත් ඇන්දාම පහසුත් හෑන්ඩ්ලුම් විවාහ මංගල්‍ය වැනි උත්සව අවස්ථාවලදී තෝරාගැනීමේ ප්‍රවණතාවක් ද ඔවුහු පෙන්වා දෙති.

‘ඩයිවර්ග පවා සෞඛ්‍යාරක්ෂිත බවෙන් උපරිම තලයේ ඒවායි අපි භාවිත කරන්නේ. හෑන්ඩ්ලූම් නිමි ඇඳුම්වලට තනිපොට නූල් භාවිතය ලාභදායක වුණත් ඉතාම උසස් නිමාවක් බලාපොරොත්තුවෙන් අපි වියදම් අධික නමුත් දෙපොට නූල්මයි යොදන්නේ. එය අන්තර්ජාතික මට්ටමින් පවා අපේ නිමාව ඇගයීමට ලක්කරන්නට හේතු වූ කාරණයක්. වෙනත් බොහෝ රටවල් තමන්ගේ රටේ රෙදිපිළි නිෂ්පාදකයාට සපයන දිරිදීම් ලැබෙනවා නම් ආසියාවෙනුත් එපිට දිනන්නට තරම් ශක්තියක් අප සතුයි. විදේශගතවෙන හුඟ දෙනෙක් වගේම හුඟ දෙනෙක් පිටරට ඉඳන් නිවාඩුවකට පැමිණ නැවත විදේශගත වෙද්දිත් දුරු කතර ගෙවාගෙන පවා මඩපාත අපේ ප්‍රදර්ශනාගාරයටයි එන්නේ. ඔවුන් කියන්නේ යුරෝපීය රටවල පවතින නිමාවටම නමුත් ඊට වඩා 10 ගුණයකටත් වඩා අඩුමිලට අනර්ඝ තත්ත්වයේ රෙදිපිළි, නිමි ඇඳුම් P.T.I. එකෙන් ගන්න බලාගෙන අපි ළගට එනවා කියලයි. වෙළෙඳ කළමනාකාර අජිත් ඇතුළු අලෙවිකරණ අංශයෙන් පාරිභෝගිකයන්ගෙන් P.T.I. වෙත ලැබෙනා ප්‍රශංසා ඇගයීම් පිළිබඳ ඇසෙනා එවන් කතා බොහොමයි.

‘පාසල්වල විවිධ ප්‍රසංගවලට වගේම විවිධ රජයේ සහ පුද්ගලික ආයතනවල සේවක සේවිකාවන්ට නිල ඇඳුම් සඳහා එකම හැඩයට පාටට නිල ඇඳුම් රෙදි සැපයීම අතින් P.T.I. ප්‍රසිද්ධියක් උසුලන්නේ. හුඟක් ඉන්ටීරියල් කම්පැණිවලට හොඳ මැටීරියල් නැතිකම ගැටලුවක් වෙලා තියෙනවා. ඒ හැමෝටමත් අපි P.T.I. වෙත වරක් පැමිණ වෙනස වටහා ගන්නට ආරාධනා කරනවා.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය අතින් ප්‍රගතියක් පෙන්වන මේ කාලේ ඊට සවියක් වෙන්නට P.T.I. කළ වැඩ බොහොමයි. අති සුඛෝපභෝගී කපු රෙදිවලින්ම නිම වූ බෙට්ෂීට්, තුවා ආදිය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්නට හේතුවනවා නිසැකයි. ඇණවුම් කරන ඒවා ඕනෑම ප්‍රමාණයක් ඕනෑම අන්දමකින් ඉතා කෙටි කලෙකදී සැපයිය හැකිවීම අපට ආඩම්බර විය හැකි කාරණයක්. පිටරට රෙදිපිළි විකුණුවාට පස්සේ කවුද වග කියන්නේ. අපි එහෙම නෑ. ඒ ඇණවුමට වග කියනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් වුවමනාකරන රෙදිපිළි සැපයුම්කරුවකු වශයෙන් මඩපාත කර්මාන්ත ශාලාවේදීම කළ නිෂ්පාදනවලින් කිහිපයක් අපට පෙන්වමිනුයි P.T.I. සභාපති හෙට්ටිආරච්චි මහතා ඉහත වැඩිදුර විස්තර කිරීම කරන්නේ...

දේශීය ව්‍යවසායකයකු වශයෙන් ජේ.එස්.හෙට්ටිආරච්චිගෙන් සිදුවන වෙනස්ම ආරේ වැඩපිළිවෙළක් අප දුටිමු. ඒ අද වනවිට බොහෝ කර්මාන්ත ඇසුරේ අසන්නට ලැබෙනා පුහුණු ශ්‍රම හිඟයට මැසිවිලි නොනඟා ඔහු සොයාගත් කදිම විකල්පයක් බව පෙනේ.

ඒ සේවක සේවිකාවන් 300කට පමණ පූර්ණකාලීනව රැකියා සපයන අතරතුර තවත් සිය ගණනකට අර්ධකාලීනව P.T.I. සමඟ එක්වන්නට දොරගුළු විවරකර දීමය. සැබැවින්ම පිළියන්දල - මඩපාත අවට පදිංචි බොහෝ මැහුම් හැකියාව ඇති නමුත් දරුවන්ගේ කටයුතු නිසා ගෘහණියන්ව සිටිනා කාන්තාවන් බොහොමයක් P.T.I. සඳහා මැහුම් ගෙතුම් කරති. එයින් දැනටත් ඔවුන් ඉතා හොඳ අමතර ආදායමක් ලබති. පිළියන්දලින් ‍තරමක් දුර බැහැර පදිංචිව සිටිනා කාන්තාවන්ට වුවත් නිවෙසේ සිටිමින්ම එසේ හොඳ අමතර ආදායමක් මැහුම් - ගෙතුම්වලින් උපයාගැනීමට හැකි බව P.T.I. සතුටින් දන්වා සිටින්නේ එය හොඳ සමාජ සේවයක්ද වනු ඇති වගට වන සද් චේතනාවෙන් යුතුවයි. ඊට උනන්දුවක් දක්වන්නියන්ට 0112707345 සහ 0112183155 දුරකතන ඇමතුම් අංක විවෘත බව ඔවුහු දිනමිණට කීහ. 

 

නව අදහස දක්වන්න