කලබල වූ මහ හොරු | දිනමිණ

කලබල වූ මහ හොරු

 රටට ආදර්ශයක් දුන් අතීත නායකයන්ගේ ඇතැම් ක්‍රියා අපට නැවත නැවත මතකයට නැගෙන්නේ පසුගිය කාලයේ සිටි ඇතැම් නායකයන්ගේ ලජ්ජා නැති අමන කතා අසන්නට ලැබෙන විටය. මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් ගාල්ලේ දහනායක මහතා දුන් ආදර්ශයක් ගැන කතාව ද එලෙස මතකයට නැගෙන්නකි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමෙන් පසු ටික කලක් අගමැති ධුරය දැරූ දහනායක මහතා 1960 මාර්තු මැතිවරණයෙන් පරාජයට පත්වූයේ මන්ත්‍රී ධුරය ද අහිමි වෙමිනි. පසුවදා උදයේ තම බඩුමුට්ටු සූදානම් කරගත් හිටපු අගමැති දහනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ තමාට ගාල්ල බලා යාමට කුලී ‍මෝටර් රථයක් ගෙන්වා දෙන ලෙසයි. නිල රථයෙන් යන ලෙස ලේකම්වරයා ඉල්ලා සිටිවිට දහනායක මහතා කීවේ “මම දැන් අගමැති නොවෙයි. මන්ත්‍රීවරයකුත් නොවෙයි” කියාය. ඒ තමන්ට අයිති නැති වරප්‍රසාදයන් භුක්ති නොවිඳිය යුතු බව පෙන්වා දෙමිනි. නිල රථ කියන්නේ මහජනයාගේ දේපළයි. ඒවා දුවන්නේ මහජනයාගේ මුදලිනි. එම මහජන මුදල් අයථා ලෙස පරිහරණය නොකිරීමට එදා සිටි දේශපාලනඥයෝ වගබලාගත්හ. ඇමැතිකම් අහිමි වූවිට බස් රථයෙන් ගමට ගිය ඇමතිවරුන් ගැනද එකල අහන්න දකින්න ලැබිණි. ඩඩ්ලි සේනානායක මහතා අගමැතිව සිටියදී ද පෞද්ගලික ගමන් බිමන් සඳහා රජයේ වාහන භාවිත නොකළ බව කියති. මෙබඳු තවත් කතා බොහෝය. ඒ එදා තත්ත්වයයි.

වැරදී ගණනාවක්

මෙදා දේශපාලනඥයන්ගේ කෙරුවාව ඊට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට දෙදෙනා හිටපු රජයේ නිලධාරීහු වෙති. ඒ දෙදෙනා අද දඬුවම් ලබා ඇත්තේ මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙනි. විදුලි සංදේශ කොමිසන් සභාවේ රුපියල් මිලියන හයසීයක් යොදාගෙන සිල් රෙදි බෙදීම එම චෝදනාවයි. එය කළේ ද ජනාධිපතිවරණයට දින තුනකට පෙරයි. ඒ සමඟ ජනාධිපති අපේක්ෂකයකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක පත්‍රිකා ද බෙදාහැර තිබිණි.

බැලූ බැල්මටම මෙහි වැරදි ගණනාවකි. පළමුවැන්න මහජන මුදල් අවභාවිතයයි. විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් තියෙන්නේ සිල් රෙදිමට නොවේ. එම මුදල් ලබාගෙන වියදම්කෙට තිබෙන්නේ ද කිසිඳු නීත්‍යානුකූල හෝ අනුමැතියකින් තොරවයි. එය එක වරදකි. දෙවන වරදනම් මැතිවරණ සමයේ අල්ලසක් දීමයි. එය ද වරදකි. රාජ්‍ය යාන්ත්‍රණය මැතිවරණ ක්‍රියාවලියට යොදාගැනීම ද වරදකි. එමෙන්ම රජයේ නිලධාරීන්ව සිටියදී අපේක්ෂකයකුගේ මැතිවරණ කටයුතුවල යෙදීම තවත් වරදකි. මේ සියලු වැරදි කර තිබුණ ද උසාවිය දඬුවම් නියම කර ඇත්තේ මහජන මුදල් අවභාවිතය යන වරද සඳහා පමණකි.

බන්ධනාගාර රෝහලේ සිටින ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට දෙදෙනා බලන්නට ගිය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට කීවේ සිල් රෙදි බෙදුවේ තමන්ගේ නියෝග මත බවයි. එහි වරදක් නැති බව ද ඒ මහතා කියා ඇත. ඒ මහතා කරන්නේ කොළේ වසා ගැසීමකි. සිල් රෙදි බෙදීම ගැන කතා කරන්නේ මහජන මුදල් කොල්ලය ගැන නො කියායි. එමෙන්ම මෙය මැතිවරණ වැඩක් නොවන බව ද කියයි. එසේනම් සිල් රෙද්ද අස්සේ මැතිවරණ ප්‍රචාරය කෙරුනේ කෙ‍ෙලසද යන්න ප්‍රශ්නයකි. අනෙක් අතට එහෙම පිනක් දහමක් සඳහා නම් මැතිවරණය ඉවර වෙනකන් සිටීමට තිබිණි. නැත්නම් මැතිවරණය කැඳවීමට ෙපර කිරීමට තිබිණි. මැතිවරණය කැඳවූයේ ද ඔහුම නිසා එයට හොඳටම ඉඩ තිබිණි.

නිලධාරීන් බිලි දීම

අනෙක් අතට මැතිවරණ සමයේ අල්ලස් දීම නීති විරෝධී ප්‍රචාරක කටයුතු ආදිය ගැන මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය කැඳවූ අවස්ථාවේම සියලු අපේක්ෂකයන්ට පමණක් නොව රටටම උපදෙස් දී තිබිණි. ඒ අනුව නීතිය කුමක් ද? යන්න ගැන නො පැහැදිලිකමක් තිබෙන්නට ඉඩක් නැත.

මේ සියල්ල යට ගසන්නට මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝලබාලයනුත් දැන් කතා කරන්නේ සිල් රෙද්ද ගැනය. ඔවුන් හදන්නේ හොරකම, දූෂණය, වංචාව යන සියල්ල සිල් රෙද්දෙන් වසා ගන්නටය. ඒ එසේ වුවද මේ රටේ ජනයා දැන් ඒ තරම් මෝඩ නැති බව ද කිවයුතුය.

සිල් රෙදි බෙදන්න නියෝග කළේ තමන් බව මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ඇත්තකි. ඒ බව මෙම නඩු තීන්දුව දුන් විනිශ්චයකාරවරුන් ද කියා තිබිණි. මේ දෙදෙනා සිදුකොට තිබුණේ තමන් එම තනතුරුවලට පත්කළ බලධාරින්ගේ වුවමනාව ඉටුකිරීම පමණක් බව අධිකරණ තීන්දුවේ සඳහන් ය. ඒ අනුව ජනාධිපති මුක්තිය නොතිබුණේ නම් හා නීතිය සාධාරණව ක්‍රියාත්මක කළ හැකි වූයේ නම් පළමුවෙන් සිරගත විය යුතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. කෙසේ වෙතත් දැන් සිදුව තිබෙන්නේ නිලධාරීන් බිල්ලට දී දේශපාලනඥයා නිදහස්වීමේ තත්ත්වයකි.

කෙසේ වෙතත් අධිකරණය කීවේ මෙරටේ මහජන දේපළ අවභාවිතය හා දූෂණය පිටුදැකීම සඳහා මේ දෙදෙනාට දඬුවම් දීම අවශ්‍ය බවයි. එහි වැදගත්කම තිබෙන්නේ මින් ඉදිරියට මෙබඳු දේ සිදුවීම වැළැක්වීම සඳහාය. එය එසේ සිදු නොවූයේ නම් දිගින් දිගටම මෙබඳු ක්‍රියා සිදුවීමට ඉඩ තිබිණි. රටට දැන් අවශ්‍යව ඇත්තේ කුමන රජයක් යටතේවත් දුෂණයක් ඇති නොවන හා එවැන්නක් සිදු වුවහොත් දඬුවම් ලබන තත්ත්වයක් ඇති කිරීමයි. මෙම නඩු තීන්දුව වැදගත්වන්නේ ඒ නිසාය.

රාජපක්ෂ පාලනය යටතේ අපට දක්නට ලැබුණේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් අවභාවිතා වූ තත්ත්වයකි. එය අපට දකින්නට අසන්නට ලැබුණේ රාජපක්ෂ මහතා ජනාධිපති වන්නටත් පෙර සිටය. හෙල්පින් හම්බන්තොට මුදල් වංචාව එවැන්නකි. අගවිනිසුරුව සිටි සරත් එන් සිල්වා මහතා නීතිය නවා රාජපක්ෂ මහතා බේරා නොගන්නට ඒ මහතාගේ ඉරණම මෙන්ම රටේ ඉරණම ද වෙනස් වන්නට තිබිණ. සරත් එන් සිල්වා මහතා තමා කළ වරදට සමාව ඉල්ලුවේ ප්‍රසිද්ධියේය. එසේ වුවද මහජනයා සමාවදුන් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ජනාධිපති පදවියට පත්වීමට ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ට කෝටි ගණනින් අල්ලස් දුන් බව හෙළිදරව් වී ඇත. එම මුදල් දුන් අයුරු හා දුන් අය ගැන පසුගිය කාලයේ පරීක්ෂණ සිදුවිය. කිසියම් හේතුවක් නිසා එම පරීක්ෂණ යටගිය බවක් පෙනෙන්නට ඇතත් සදාකාලිකව යට ගසන්නට නම් නොහැකි වනු ඇත. එසේ වුවද එහිදී ද පෙනෙන්නට තිබෙන්නේ සිද්ධියට ප්‍රධාන වගකිවයුත්තා වෙනුවට වෙනත් අය අමාරුවේ වැටෙන බවයි. මහින්ද රාජපක්ෂ මහතා දිගටම සිදුකොට තිබෙන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීම බව පෙනී යන්නේ දිගින් දිගට හෙළිවන මෙබඳු සිදුවීම් නිසාය.

වසර දහයක් පැවැති රාජපක්ෂ පාලන සමය නීතිය යටගසා අවනීතිය රජකළ සමයක්ව පැවතිණි. එම පාලනයට සම්බන්ධ වූවන්ට හා ආවැඩූවන්ට මහජන දේපළ හිතුමතේ කොල්ල කන්නට ඉඩදී තිබිණි. ඇතැම් මැති ඇමැතිවරුන් මහජන දේපළ සලකන ලද්දේ තමන්ගේ පෞද්ගලික දේපළ ගානටය.

විමල් වීරවංශ මහතා දැන් ඇප මත සිටින්නේ තම ඥාති හිතවතුන්ට නිවාස, වාහන බෙදාදීමේ චෝදනා යටතේය. බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග ඇතුළු විශාල පිරිසකගේ චෝදනා පරීක්ෂා කර නඩු පවරා ඇත. තවත් සිදුවීම් ගණනාවක පරීක්ෂණ අවසන් වෙමින් පවතියි. මේ සියල්ලෙන් පෙනෙන්නේ එම යුගයේ මහජන දේපළ කොල්ලකෑම සාමාන්‍ය ප්‍රතිපත්තිය වී තිබූ ආකාරයයි.

රාජපක්ෂ පාලන සමයේ මැතිවරණ පැවැත්වූ ආකාරය ද මහජනයාට අමතක නැත. කඩින් කඩ මැතිවරණ තිබ්බේ රාජ්‍ය බලය එක් එක් පළාතට සම්පූර්ණයෙන් යෙදීමට හැකිවන පරිදිය. රජයේ වාහන, දේපළ, මුදල් මැතිවරණ සඳහා වියදම් කළේ සීමාවකින් තොරවය. ඒ තම බලය හදාගන්නටය. එ‍මඟින් තව තවත් මහජන මුදල් කොල්ලකන්නටය. වයඹ වැනි ඇතැම් මැතිවරණ මහජනයාට මුදලින්, සුරාවෙන්, ආහාරපානයෙන් හා අන් හැම අයුරකින්ම අල්ලස් දුන් දූෂිත මැතිවරණ බවට පත්ව තිබිණි. මැතිවරණ කොමසාරිස්වරයාට හෝ රජයේ නිලධාරීන්ට හෝ කළ හැකි යමක් නොවූ තරම්ය. සිදුවීම් ඉදිරියේ අසරණ වන්නට ඔවුනට සිදුවී තිබිණි. රජයේ ජනමාධ්‍ය මැතිවරණ කටයුතුවලට යොදාගැනීම ද උපරිම ආකාරයෙන් සිදුවිය.

මැතිවරණයට පෙර දින දෙකක් ප්‍රචාරක කටයුතු තහනම් වුව ද 2010 ජනාධිපතිවරණයේ ඡන්ද දිනයේ උදේ දක්වාම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවූයේ සම්පූර්ණ රාජ්‍ය බලය යොදාගනිමිනි. එවකට හිටපු මැතිවරණ කොමසාරිස්වරයා කීවේ තමන්ට ආතතිය හැදුණු බවකි. ඒ කතාවෙන්ම බොහෝ දේ කියැවිණි.

රාජපක්ෂ මහතාගේ ක්‍රමය වූයේ සියලු දූෂණ වංචා මැරකම් කරමින් බලය රැක ගැනීමය. එවිට සියලු අපරාධ අහෝසි කර්ම බවට පත්වන්නේය යන්න ඔවුන්ගේ විශ්වාසය වී තිබිණි. බලය රැකගැනීමට හැකිවූ කාලයේදී එය එසේම සිදුවිය. එසේ වුවද කලක් සියල්ල ඉවසා සිටි මහජනයා අවසානයේ තීරණය කළේ එම ක්‍රමයට තිත තබන්නටය. එම මහජන බලය ඉදිරියේ දණ නමන්නට රාජපක්ෂ මහතාට සිදුවීය. මහජනයා ඉල්ලා සිටියේ ඒ සමයේ සිදුවූ සියලු දූෂණ ගැන සොයා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බවයි. දැන් මහජනයා මැසිවිලි නගන‍්නේ එම බලාපොරොත්තු ඒ අයුරින් ඉටු නොවීම ගැනයි. ඒ අතර සිල් රෙදි නඩුවේ තීන්දුව මහජනයාට යම් අස්වැසිල්ලක් වනු ඇත.

නිලධාරීන්ට ආදර්ශයක්

මෙම නඩු තීන්දුවේ බලපෑම ද විශාලය. රාජපක්ෂවරුන් කියන්නට හදන්නේ මෙය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමක් බවයි. එසේ වුවද මෙයින් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ යුක්තිගරුක නිලධාරීන් ශක්තිමත් කිරීමයි. දේශපාලනඥයන්ගේ නියෝග වැරදිනම් ඒවා ක්‍රියාත්මක නොකිරීමට නිලධාරීන්ට ශක්තිය ලැබීමයි. දේශපාලනඥයන් ඉදිරියේ නිවට වන තත්ත්වයෙන් නිලධාරීන් ගලවාගැනීමයි. දේශපාලනඥයන්ගේ එහෙයියන් නොවී කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නට අවංක නිලධාරීන්ට හැකියාව ලැබීමයි. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළොත් අමාරුවේ වැටෙන්නේ තමන් බව කියන්නට එම නිලධාරීන්ට මින් පසුව අවස්ථාව උදාවෙයි.

කරවටක් දූෂණ චෝදනාවල ගිලී සිටින ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් දැන් හදන්නේ තම සියලු දූෂණ සිල් රෙද්දෙන් වසාගන්නටය. මහජන මුදල් කොල්ලකෑම ගැන කතා නොකර සිල් රෙද්දම ගැන කියන්නේ ඒකටයි. මහජන මුදල් කොල්ලකෑමත්, මැතිවරණ දූෂණත් වසාගන්නට සිල් රෙද්ද ගැන කතා කිරීමෙන් හැකියාවක් ලැබෙන්නේ නැත. එසේ වන්නේ බණ දහමයි සොරකමයි අතර වෙනස මේ රටේ බෞද්ධ ජනතාවට හොඳින් වැටහෙන නිසාය.

දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ යුතුකම වන්නේ මෙබඳු අනෙක් දූෂණ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමයි. එවිට සියලු දූෂිතයන්ගේ රෙදි ගැලවී යනු නියතය. දූෂණයෙන් තොර රටක් බිහිකරන්නට එම පියවර ගැනීම අත්‍යවශ්‍ය ය.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න