ජාතික ප්‍රතිපත්ති ! | දිනමිණ

ජාතික ප්‍රතිපත්ති !

රටට ජාතික ප්‍රතිපත්ති ඕනෑ! යන්න දීර්ඝ කාලයක සිට සාකච්ඡා වන මාතෘකාවකි. ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලැසුම් ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන තිබේ. සංවර්ධනය සඳහා ද විවිධ ආයතන තිබේ. ජාතිය ගොඩනැඟීම සඳහා අමාත්‍යාංශයක් පවා ක්‍රියාත්මක වෙයි. රටේ විද්වතුන් පමණක් නොව; දේශපාලකයෝද ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කරති. එහෙත් තවම අපට එවැන්නක් නැත. මේ නිසා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් රෙදි බෙදන්නට යොදා ගැනිණි. දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ විදුලි සංඥා පිහිටුවීම සඳහා රුපියල් කෝටි හැත්තෑවක් වෙන්කර ඇතත්; නිලධාරීන් ඒවා පිහිටුවන්නේ නැත.

රටක ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය පමණක් නොව සංස්කෘතිය පවා ජාතික ප්‍රතිපත්තියකට අනුව හසුරවන්නේ නම් අපට මීට වඩා දියුණුවක් ලැබිය හැකිය. සිදුවන වංචා, දූෂණ හා නාස්තිය ආදිය ද වළක්වාගත හැකිය. චීනයේ සංගීතයට පවා ජාතික ප්‍රතිපත්තියක් තිබේ. එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් සංගීතය භාවිත කිරීම හෝ නිර්මාණ කිරීම හෝ තහනම්ය. බැලූ බැල්මට පෙනී යන්නේ එය නිදහස සීමා කිරීමක් ලෙසය. එහෙත් ඒ මඟින් රටේ දේශීය සංගීතයේ අභිවර්ධනයට විශාල තල්ලුවක් ලැබී තිබේ. අමෙරිකාව, ජපානය වැනි රටවල් සිය ආර්ථිකය හසුරවන්නේ ජාතික ප්‍රතිපත්තියකට අනුවය. එය රටවල් දෙකෙහිම ආර්ථික ප්‍රසාරණයට ශක්තියක් වී තිබේ.

ඉහත පූර්විකාව ලියා තැබුයේ ජාතික ප්‍රතිපත්තිවල ඇති වැදගත්කම හුවා දක්වන්නටය. ජනාධිපතිවරයාද ජාතික ප්‍රතිපත්තියක ඇති වැදගත්කම හුවා දක්වා තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශනය වී ඇත්තේ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී මින් පසු ජාතික ප්‍රතිපත්තියකට අනුව ක්‍රියා කළ යුතු බවය. අලුතෙන් අධිවේගී මාර්ග ඉදිකිරීම, ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම, මංමාවත් පිළිසකර කිරීම යනාදී සියලු පියවරවලදී ජාතික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එබඳු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේදී විනිවිදභාවය හොඳින් දැකගත හැකි බවද ජනාධිපතිවරයාගේ අදහසය.

මධ්‍යම හා දක්ෂිණ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් සමාජ කතිකාවක් මේ වන විටත් පවතී. ඇතැම් ඉදිකිරීම් සම්බන්ධයෙන්ද, ඇතැම් සැලැසුම් සම්බන්ධයෙන්ද, ඇතැම් ටෙන්ඩර් සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය වාර්තා පළවන්නේ විවේචනත් සමඟය. මේ විවේචනවල ඇත්ත නැත්ත අප දන්නේ නැත. එහෙත් දේශපාලන වුවමනා සඳහා විවේචන එල්ලවන්නට පුළුවන. ඇතැම් විට කරුණු හරිහැටි නොදන්නාකම නිසාද විවේචන එල්ල වන්නට පුළුවන. අධිවේගී මාර්ග ඉදිකිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සම්බන්ධ තාක්ෂණය හැම කෙනකුටම හුරු දෙයක් නොවේ. එහෙත් ඒවා පැහැදිලි කිරීම නිලධාරීන්ගේ වගකීමකි. එම වගකීම ඉටු වී නැති බවක් පෙනෙන්නට තිබේ.

ආර්ථිකයට, නව ඉදිකිරීම්වලට හා සංවර්ධන ක්‍රියාකාරකම්වලට අදාළ චෝදනා පමණක් නොව; සැක සංකා පවා ඇති වීමට හේතුව ඒවා දේශපාලන ව්‍යාපාර බවට පත්වීම යැයි කියන්නට පුළුවන. අපේ රට හුරුවී ඇත්තේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමටය. එක ආණ්ඩුවක් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර තව ආණ්ඩුවක් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරයි. මේ ක්‍රමය නිසා ආර්ථිකය එකතැන පල්වෙයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ක්‍රියාත්මක වෙයි. එහෙත් කොයි පක්ෂය බලයට පත් වුව; ජාතික ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැත. ශ්‍රී ලංකාව ද මේ ක්‍රමය අනුගමනය කළ යුතුය.

අපේ අධ්‍යාපනය දෙස බලන විට මේ අර්බුදය හොඳින් වටහාගත හැකිය. සයිටම් ප්‍රශ්නය ඊට හොඳම නිදසුනක් යැයි කිව හැකිය. මේ ආයතනය පිහිටුවීමට මුල් වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවය. අද ඔව්හු බලයේ නැති අතර සයිටම් ආයතනයට විරුද්ධව සටන් කරති. ගැටලුවේ දේශපාලන ස්වරූපය එයින් වටහාගත හැකිය. ඒ හැරෙන්නට සයිටම් වැනි ප්‍රශ්නයක් මතුවන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නැතිකම නිසාය. රටට අවශ්‍ය අධ්‍යාපනය කුමක්ද? එයින් කුමන පංගුවක් පෞද්ගලික අංශයට ලබාදෙන්නේද? කුමන පංගුවක් රජය තබාගන්නේද? මේ පිළිබඳ ස්ථාවර ප්‍රතිපත්තියක් අපට නැත. මේ නිසාම වෛද්‍ය සභාව කියන අන්දමටද රජයේ වෛද්‍ය සංගමය කියන අන්දමටද වැඩකරන්නට සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ පිහිටීම ස්වභාවික සම්පත් හා මානව සම්පත ගැනද සැලැකිල්ල යොමු කරන විට පෙනී යන්නේ අප මේ කිසිදු සම්පතකින් නිසි ප්‍රතිඵල ලබාගෙන නැති බවය. සමහර දේශීය විශේෂඥයෝ විදේශ රටවලට ගොස් ඉහළ වැටුප් ලබමින් එම රටවලට සේවය සපයති. බුද්ධි ගලනය නමින් ගැටලුවක් ගැනද අපි කාලයක් තිස්සේ කතා කරන්නෙමු. එහෙත් කිසිවක ප්‍රතිඵලයක් නැත. මේවා මෙසේ සිදුවන්නේ කුමක් නිසාද? පිළිතුර වන්නේ දර්ශනයක් හා ප්‍රතිපත්තියක් නැතිකම යන්නය. අපි කාලයක් සිංගප්පූරුව ගැන කතා කර ඇත්තෙමු. තව කාලයක් ඩුබායි ගැන කතා කර ඇත්තෙමු. තවත් කාලයක් ආසියාවේ ආශ්චර්යය ගැන කතා කර ඇත්තෙමු. එහෙත් රට එතැනමය.

සියල්ල වෙනස් කොට අලුත් මාවතකට පිවිසීමේ අපූරු අවස්ථාවක් දැන් උදා වී ඇතැයි සිතන්නට පුළුවන. ඊට අදාළ පසුබිම සකස් වී ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක මාවතකට පැමිණ ඇති නිසාය. සම්මුතිවාදය යනු අපේ නිදහසින් පසු දේශපාලන චාරිකාවේ ප්‍රධාන සන්ධිස්ථානය ලෙස සැලැකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට යහපාලනය ක්‍රියාත්මක කිරීමට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට පමණක් නොව පොදු ආර්ථික දර්ශනයක් අනුව රට මෙහෙයැවීමටද මේ වන විට හැකියාව ලැබී තිබේ. 2026 වන තෙක් ක්‍රියාත්මක කළ යුතු ආර්ථික සැලැසුමක් ද අපට තිබේ. මේවා යම් ජයග්‍රහණ ලෙස සැලැකිය හැකිය.

ජාතික ප්‍රතිපත්තිවලට මීටත් වඩා ගැඹුරු දර්ශනයක්ද ස්ථාවරභාවයක්ද තිබිය යුතුය. ඒවා ආණ්ඩු වෙනස් වු පමණින් වෙනස් නොවන ඒවා බවට පත්විය යුතුය. අධිවේගී මාර්ග පද්ධතියෙන් එය ආරම්භ වන්නේ නම් වඩාත් වැදගත්ය. මාර්ග යනු රටක දියුණුවේ එක් පදනමකි. මාර්ග ගුවන් තොටුපොළවල් වරායවල් අපේ රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ලෙස සැලැකිය හැකිය. මේවා දියුණු කිරීමේදී නව තාක්ෂණය ‍ගැන සේම ලෝකයේ ගනුදෙනු රටාව ගැන ද කල්පනා කළ යුතුය. එක අතෙකින් අපි ලෝකය සමඟ හුවමාරු ආර්ථිකයකට යා යුතු වෙමු. තව අතෙකින් දේශීය අනන්‍යතාව ද රැකගත යුතු වෙමු. මේවා පරෙස්සමෙන් තෝරාගත යුතු දේවල් ලෙස සැලැකිය හැකිය. 

නව අදහස දක්වන්න