ස්මාර්ට් දුරකතනයේ සමාජීය අවකාශය පුළුල් කිරීම | දිනමිණ

ස්මාර්ට් දුරකතනයේ සමාජීය අවකාශය පුළුල් කිරීම

නවතම ඇපල් අයිෆෝනය වන ඇපල් X හෙවත් ඇපල් ටෙන් ඇමරිකානු ඩොලර් 999ක් ලෙස මිල නියම කොට තිබේ. ඒ ඩොලර් ගණනම වියදම් කරමින් ඒ මුදලින් රත්‍රන් ග්‍රෑම් 20ක් මිලදී ගැනීමේ හැකියාව තිබේ. ලංකාවට පැමිණෙන විට මුදල සැලකුවොත් අඩුම වශයෙන් රත්‍රන් පවුන් කාසි 4කවත් මිලක් මෙම නව ඇපල් ජංගම දුරකතනය විසින් අත්පත් කරගන්නවා ඇත. එය සලකා බැලූ විට අයිෆෝනයේ බරින් හතෙන් එකක බර රත්‍රන් කොටසක් තරම් අයිෆෝනය වටිනා උපාංගයකි.

ඒ කෙසේ වෙතත් වර්තමානයේ වෙළෙදපොළ තුළ ඇති ස්මාට් ෆෝන් තුළින් වඩාත්ම ආකර්ශනීය ස්මාට් ෆෝනය ඇපල් අයිෆෝන් බව බොහෝ දෙනා විශ්වාස කරති. කෙතරම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පැමිණියද ඇපල් අයිෆෝන් එක තරම් නොවන බැව් ඇපල් කාලයක් තිස්සේ භාවිත කරන අය නිතර කියන පදයකි. ඇපල් මෙතරම් ගන්න වෙලත් ඇයි මෙච්චර මිනිසුන් හඹා යන්නේ? අපි ඒ ගැන කාරණා කිහිපයක් සලකා බලමු.

නිමාව

එදා මෙදා තුර ඇපල් අයිෆෝන් විසින් එළි දක්වන ලද සෑම සියලු අයිෆෝනයක්ම පාරිභෝගිකයින් ආකර්ශනය කරන නව නිමාවකින් යුක්ත විය. ඇපල් සමාගම එක් අයිෆෝනයක් සැලසුම් කිරීම සඳහා විශාල පරාසයක පර්යේෂණ රාශියක් සිදු කරති. ඒ අතර ඇපල් අයි ෆෝනයේ හැඩය, එහි හුරුබුහුටි ස්වභාවය. භාවිතයට පහසු බව ආදී කාරණා රැසක් ගැන ඇපල් කාර්ය මණ්ඩලය නිරන්තර පර්යේෂණවල නිරත වෙති. ඒ අනුව ඔවුන් ඉදිරි වර්ශයේදී ලොව ඉහළ පෙළේ භාවිත කරන්නන් බොහෝ දෙනෙකුට වඩාත් සුදුසු අයිෆෝන් එකක් ලොවට දායාද කරති.

කල් පැවැත්ම

ලංකාවේ වුවද දෙවැනි පෙළ වෙළෙදපොළක් තිබෙන ප්‍රමුඛතම ජංගම දුරකතනයකි ඇපල් අයිෆෝන් ස්මාට්ෆෝනය. අයිෆෝන් හි මීට වසර දෙක තුනකට එපිට එළි දැක්වූ අයිෆෝන් පවා තවමත් ජනප්‍රිය ව පවතී. එනම් සාමාන්‍ය චීන ස්මාට් ෆෝනයක ඇති තත්ත්වය වසරකින් දෙකක් ගිය තැන බාල වෙද්දී ඇපල් එසේ නොවී සිය තාක්ෂණික හැකියාව මොට නොවී දිගු කලක් රැක ගනී. මෙම කල් පැවැත්මේ සාධකය නිසා වසරින් වසර ස්මාට් ෆෝන් මිලදී ගැනීමක් අවශ්‍ය නොවන අතර එක් ස්මාට් ෆෝනයක මිලදී ගැන්ම වසර තුන හතරකට පමණ සෑහේ.

අඩු මිල චිප් සෙට්, ඩිස්ප්ලේ, බැටරි, ආදිය භාවිත කර ඉතා අඩු මිලට ස්මාට් ෆෝන් මිලදී ගත හැකි මුත් ඒවා භාවිත කරන විට එන ප්‍රධාන බාධාවක් නම් කල් පැවැත්ම අඩු වීමයි. එනම් මුලදී ඇති සෝබමාන කල් පැවැත්ම කලක් යන විට අඩු වේ. ඇතැම් විට ෆෝන් එකේ දෝෂ එන ප්‍රමාණය වැඩි වේ. එහෙත් අයිෆෝන් නිපදවීමේදී යම් තාක් මට්ටමක ඉහළ හාඩ්වෙයාර් කොටස් යොදා ගන්නා නිසා එහි කල් පැවැත්ම අනෙක් ස්මාට්ෆෝන්වලට වඩා වැඩි අගයක් ගනී.

ගොඩක් නෑ එකයි

වසරකට නිකුත් වන්නේ අයිෆෝන් මාදිලි වැඩිම වුණොත් තුන හතරක් පමණි. ඉහළම මට්ටමේ ෆෝන් මාදිලි තුනක් වෙත සමාගම සිය මුළු අවධානය යොමු කරන හෙයින් ඒ මාදිලි අතලොස්ස තුළ ඇති ගැටලු වෙත්නම් ඒවා ඉක්මනින්ම යාවත්කාලීන වෙයි. වෙනත් ප්‍රකට ජංගම දුරකතන සමාගම් වන එල් ජී, සැම්සුන්, සියාමි, හුවාවේ ආදී සමාගම්වල වසරකට නොව මාස කිහිපයකදී වුව ස්මාට්ෆෝන් 10ක් 15ක් නිකුත් කරනු ලැබේ. එවිට එක් ස්මාට් ෆෝන මාදිලියක් සම්බන්ධයෙන් සමාගමේ ඇති අවධානය සැබැවින්ම අඩුය. සැලසුම් කිරීම, නිෂ්පාදනය මෙන්ම අලෙවියෙන් පසු නව අප්ඩේට්ස් ඉදිරිපත් කිරීම ගැටලු වෙත් නම් නිරාකරණය කිරීමද මෙම අයි ෆෝන් මාදිලි සංඛ්‍යාව අඩු වීම නිසා වඩාත් පහසුය. ඉහළ මට්ටමේ ෆෝන් අතලොස්සක් පමණක් නිකුත් කරන හෙයින් මිලදී ගන්නා සෑම අයෙකුටම පාහේ නියම ඇපල් අයිෆෝනයක ඇති සියලුම ගතිගුණ විඳ ගැනීමේ පහසුවද නිතැතින්ම උදා වේ.

භාවිතයට පහසුව

ඇපල් යනු එක් වහලක් යටදී අයිෆෝනයේ සැකැස්ම, ස්වභාවය සහ මෘදුකාංග නිපදවන සමාගමකි. ඔවුන් ගේ නිර්මාණයට අවශ්‍ය මෘදුකාංග තනන්නෝද ඔවුන්මය. එය වඩාත් වාසිදායක කාරණාවකි. එවිට ඒ ඒ හාඩ්වෙයාර් කොටසින් කාර්යක්ෂමව වැඩි ප්‍රයෝජන ගත හැකි අයුරින් මෘදුකාංග නිර්මාණය කෙරේ.

ඇපල් ස්මාට්ෆෝන් භාවිත කළ අයෙකුට සාමාන්‍ය මට්ටමේ වෙනත් ස්මාට් ෆෝන් එක්ක භාවිත කළ නොහැකි මට්ටමේ වේගවත් සහ සරල මෙහෙයුම පද්ධතියක් ඇපල් තුළ වේ. එම නිසා යම් කාලයක් ඇපල් යමෙක් භාවිත ක ෙළ් වීද ඔහු දිගින් දිගටම ඇපල් කරාම යොමු වීමේ වැඩි ඉඩකඩක් තිබේ.

ඇපල් හා සම්බන්ධ සේවා

ඇපල් පරිගණක සහ අයි ෆෝන් අයි පෑඩ් ආදී සියලුම උපාංග එකම අයි ක්ලවුඩ් එකකට සම්බන්ධ කළ හැකිය. ගීත ඇසීමට සහ පොත් කියවීමට ඇති ඇපල් යෙදවුම් ආදියද මෙම ක්ලවුඩ් සේවාව හරහා පහසුවෙන් ලබාගත හැකිය. ස්මාට් ලෝකයේ අපගේ වීඩියෝ, ඡායාරූප, දත්ත ආදිය ක්ලවුඩ් ස්පේස් එකක ගබඩා කොටගෙන වෙනත් ඇපල් ඩිවයිස් එකකින්ද ඒවා හැසිරවීමේ හැකියාව ඇපල්වලදී ලැබේ.

ඇපල් අයිෆෝන් යනු ස්ථාවර නාමයකි. ඇපල් විසින් ස්මාට්ෆෝනය සොයාගත්තේ නැත. එහෙත් ස්මාට් ෆෝනයේ කාර්යය සහ එහි ඇති සමාජීය අවකාශය පුළුල් කරන්නට ඇපල් අයිෆෝන් විසින් ලබා දුන් දායකත්වය සුළුපටු නොවේ.

අමිල චතුරංග


නව අදහස දක්වන්න