'මගේ කිය­විල්ලට සම­හ­රු කැමැති නෑ' - නිල්වලා | දිනමිණ

'මගේ කිය­විල්ලට සම­හ­රු කැමැති නෑ' - නිල්වලා

ඇයට නම් දඟකාරකම වගේම කටකාරකමත් අඩුවක් නැතිව තියෙනවා. මේ දිනවල ඇයගේ කටකාරකම නම් දෙවැනි ඉනිම බලන අයට අමුත්තක් නෙමෙයි. රංගනයෙන් දායක වුණු නිර්මාණත් සමඟ ඇයව වෙනස්ම හැඩයන් එක්ක ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තියෙනවා. ඒ වගේම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුණා. .

කලා තොරතුරුවලින්ම කතාව ආරම්භ කරමු?

‘දෙවැනි ඉනිම’ රංගන කටයුතුත් එක්ක තමා කාලය ගෙවෙන්නේ.

කටකාර කලණිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රේක්ෂකයන් අතරට යන්න අමාරුයි මේ තරගකාරී බවත් එක්ක. නමුත් දෙවැනි ඉනිම හරහා ලොකු තැනකට එන්න ලැබුණා. ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මම කලින් රංගනයෙන් දායක වුණු නිර්මාණවලට වඩා මේ හරහා මට ප්‍රේක්ෂකයන් අතරට ඉක්මනින් ළඟාවෙන්න ලැබුණා.

මාව එළියේදී දකින ගොඩක් අයට හිනා යනවා. ඒ මම කරන චරිතය නිසා වෙන්න ඇති. සාමන්‍යයෙන් ගෙදර වාහනේ තිබුණට පයින් තමා ෆුඩ් සිටි එකට යන්නේ.පයින් යන්න මම ගොඩක් ආස කරනවා. ඒ වෙලාවේදී මාව දකින ගොඩක් අයට මාව මතක් වෙනවා. මේ අරයා නේද කියලා.

ඒත් එක්කම ඒ අයට හිනා යනවා. ඒ වගේ චරිතයක් මම මීට කලින් කරලා තිබුණේ නැහැ. මම ඒ තුළින් ගන්න සතුට මට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ. ඒ දේ මට ලැබුණේ දෙවැනි ඉනිම හරහා. වෙලාවකට හිතෙනවා මම කොමඩියන් කෙනෙක්ද කියලා. එහෙම බැලුවොත් ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි.

නිල්වලා... කලණි ට සමානද..?

ඇත්තටම කටකාරකම නම් පොඩි කාලේ ඉඳන්ම එහෙමයි.ගෙදර අයගෙන් මම වැඩිපුරම බැණුම් අහන්නේත් කියනවා වැඩි කියලා.සමහරුන්ට කරච්චලයක් වගේ. ඒක සාමාන්‍ය ජීවිතයේදීත් එහෙමයි. ඒක හරි පහසු වුණා චරිතෙට ලංවෙන්න. පාසල් කාලේදීත් ටිකක් එහෙමයි. වැඩිපුරම මම බැණුම් ඇහුවේ සිංහල ටිච්ර්ගෙන්. ඒ කියවනවා කියලා.

දැන් කතාව වෙන පැත්තකට අරන් යනවා. වැඩිපුරම දැනෙන්නේ කාගේ ආදරය ද?

මම නම් වැඩිපුරම ආදරේ මට. මට වැඩිපුරම ආදරේ දැනෙන්නේ මගේ පෙම්වතාගෙන්.

ආදරය කරන කාලේදී ලැබුණු මුල්ම තෑග්ග ..?

ඔයා මාව අමාරුවේ දානවනේ. මට මුලින්ම ලැබුණු ආදර තෑග්ග........මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කාලේදී තමා, මට මුලින්ම ආදර තෑග්ගක් ලැබුණේ. ඒ මගේ උපන්දිනය දවසේ.

මම එතෙක් කරලා තිබුණු හැම ෆොටෝ ෂූට් එකකම ෆොටෝස් අරගෙන මාස 12 දින ක්ලැන්ඩරයක් අරගෙන (2013) මගේ ෆොටෝස් එකතු කරගෙන ලස්සන කැලැන්ඩර් එකක් දුන්නා. ඒක තමා මගේ පළමුවැනි තෑග්ග.

ඔහු මොනවගේ තැනකද ඉන්නේ ඔබේ කටකාරකම සහ දඟකාරකම කියන දේ එක්ක.. ?

කියවන්න එපා කියලා නම් කියනවා. ඒත් චරිතය ඇතුළත දී නම් චරිතය කප්පාදු කරන්න කියල කියන්නේ නැහැ. ඒක චරිතයක් කියලා එයා තේරුම් අරගෙන ඉන්නේ. කලණි කියන චරිතෙට කලින් එයා මම නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් කියන මගේ අනිත් හැකියාවන් දැකලා තියෙනවා.

ඉතින් ඒ නිසා මට ඔහු නීති දාන්නේ නැහැ. හැමදෙයක්ම කරන්න කලින් මම ඔහුත් එක්ක කතා කරනවා, ඔහුත් ඒ වගේ. මට ලොකු දායකත්වයක් ලැබෙනවා තේරුම් ගැනීමත් එක්ක. අපි දෙන්නා පරස්පර වෘත්තියන් දෙකක. එකයි මම කිව්වේ අපි ලොකු තේරුම් ගැනීමක් එක්කයි මේ ගමන යන්නේ කියලා. මේ දේ විවාහය දක්වා ගියොත් ඒක මගේ වාසනාව.

නිල් වලා කියන්නේ නර්තන ශිල්පිනියක් නේද..?

ඔව්. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් කියන දෙකම මගේ ජිවිතේ එක හා සමාන ලෙස ගලප­ාගෙන වැඩ කරගෙන යනවා. ආධුනික රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් නර්තන ශිල්පිනියක් කියලා කිව්වොත් නිවැරැදියි.

පාසල් කාලේ ඉඳන් විශ්ව විද්‍යාලය දක්වා ආ ගමනේදී මම කතක්, උඩරට,පහතරට,සබරගමු යන විෂයන් සියල්ලම හදාරලා තියෙන්නේ. දැනටත් හදාරනවා. විශේෂයෙන්ම ඉන්දියානු කතක් නර්තනය හදාරනවා. භාත්ඛන්ඩ විශාරද යනතුරු විභාග කටයුතු කරගෙන යන්න බලාපොරොත්තුව තියෙන්නේ. මේ වසරේ අන්තිම විදේශගත වෙන්න වෙයි ඒ නර්තනයට, විභාග කටයුතු සඳහා.

නිල්වලා ගේ නර්තන හැකියාව ප්‍රේක්ෂකයන්ට අතරට ආවේ කොහොමද..?

නර්තනය හරහා ප්‍රේක්ෂකයන් අතරට ආව නම් ඒ Sirasa Dancing Star තුන්වැනි වරට ඉදිරිපත් කළ වැඩසටහනත් එක්ක. දැනට මම ‘නිල්වලා ඩාන්සින් ඇකඩමි’ කියලා නර්තනායතනයක් පවතවාගෙන යනවා. රංගන කටයුතුත් එක්ක හරි අමාරුයි. ඒ මගේ විශ්ව විද්‍යාල කටයුතුත් නිසා.

ඒ තුනම සමබර කරගෙන යන්න ඕන. කොහොමත් මම මේ වසර අවසානයෙන් පස්සේ බොහෝ දුරට ලබන වසරේ මුල් කාලේදී මගේ නමින්ම සා.පෙළ , උ .පෙළ සඳහා විෂය නිර්දේශය යටතේ උගන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා රංගන කටයුතුවලට අමතරව.

ඉදිරියේදී වෙනස්ම ප්‍රතිරූපයකින් ඒවි නේද?

බොහෝ දුරට.අනාගතයේදී ගුරුවරියකුත් වෙයි. රංගනය කියන්නේ මම ගොඩක් අසාවෙන් කරන දෙයක්. වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙයිද කියන්න මම දන්නේ නැහැ. ඒ නැතත් පාසලකට සම්බන්ධ වෙලා ගුරුවරියක් නොවුණත් බාහිරින් හෝ දරුවන්ට උගන්වන්න ආසාවක් තියෙනවා මට. 

(නිලු­පුලි සඳ­කැ­ලුම්)

නව අදහස දක්වන්න