ශ්‍රී ලංකාවේ පළමු ‘ජාතික රක්‍ෂණ දිනය’ උත්සවාකාරයෙන් සමරයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ පළමු ‘ජාතික රක්‍ෂණ දිනය’ උත්සවාකාරයෙන් සමරයි

2017 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා ශ්‍රී ලංකාවේ සමස්ත රක්‍ෂණ ක්‍ෂේත්‍රය, සැමරූ දිනයක් බවට පත්විය. එදින ක්‍ෂේත්‍රයේ ඉදිරිපෙළ සාමාජිකයන් සහ ප්‍රධානීන් සියලු දෙනා, කොළඹ දී එක්වෙමින් ශ්‍රී ලංකාවේ පළමු ‘ජාතික රක්‍ෂණ දිනය’ උත්සවාකාරයෙන් සමරන ලදි.

පොදු මහජනතාව තුළ රක්‍ෂණයේ වැදගත්කම සහ වටිනාකම පිළිබඳ සැබෑ අවධානයක් යොමු වන පරිදි ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පිළිගැනීමක් සහ සුවිශේෂී ඉඩක් වෙන් කරගැනීම එම අවස්ථාවේ අරමුණ විය. ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ, අලෙවි සහ විකිණුම් සංසදය විසින් දෙවසරක් පුරා කරන ලද සැලසුමේ, ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයෙන් ලද පූර්ණ සහයෝගයේ සහ රජය විසින් ලබාදුන් අනුමැතියේ ප්‍රතිඵලය ලෙසින් රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ මේ ඓතිහාසික දිනය උදාවිය.

ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයේ සභාපතිනිය ඉන්ද්‍රානි සුගතදාස මහත්මියද, ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්‍ෂ ශ්‍රී විදෝවතී මෙනවිය, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ එච්.වී.ඩී.අයි අබේවික්‍රම මහතා, ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයේ ජෙරමි බෝලිං මහතා, ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ සභාපති දීප්ති ලොකුආරච්චි සහ එහි අලෙවි සහ විකිණුම් සංසදයේ සභාපති හෂ්ර වීරවර්ධන ඇතුළු සම්භාවනීය නිලධාරීහු රැසක්ද එම අවස්ථාවට සහභාගී වූහ. ඒ සමග ආසියානු සංවර්ධන බැංකුවේ, ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ සාමාජිකයන් සහ මෙරට රක්‍ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝද එම අවස්ථාවට එක්වූහ.

 

නව අදහස දක්වන්න