වසර 25ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව ඉඳුනිල් හේරත් බිඳ හෙලයි | දිනමිණ

වසර 25ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව ඉඳුනිල් හේරත් බිඳ හෙලයි

ප්‍රින්ස් ගුණසේකර

ටර්කිමෙනිස්තානයේ අසාගාබාට් හී මේ දිනවල පැවැත්වෙන 5වැනි ආසියා ගෘහස්ථ හා සටන් කලා ක්‍රීඩා උළෙලේ මීටර් 800 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඉදුනිල් හේරත් එම ඉසව්ව විනාඩි 1: 53.79කින් නිමකර ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි. ශ්‍රී ලංකා ගෘහස්ථ මලල ක්‍රීඩා වාර්තා පොතේ මේ ඉසව්වේ පැරණි වාර්තාව සටහන්ව තිබුණේ වසර 25කට පෙර කුමාර අමරසේකර විනාඩි 1: 57. 11කිනි. එම පැරණි ශ්‍රී ලංකා වාර්තාව වසර 1992දී ඇමෙරිකාවේ නෙවාඩා හී පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලේදී පිහිටුවා තිබුණි.

මීටර් 800 පිරිමි මූලික වටයේ සහභාගීවූ ක්‍රීඩකයන් 21ක් අතුරින් ඉදුනිල් හේරත් හොඳම කාලය වාර්තා කොට අද පැවැත්වෙන අවසන් පූර්ව වටයට එක්ව සිටින අතර ඔහු ආසන්නයේ සිටින්නේ විනාඩි 1:54.22කින් තරගය නිමකළ උස්බෙකිස්තානයේ කුර්ෂිඩ්ජොන් අකහාමෙඩලීව් පමණි.

මීටර් 800 කාන්තා තරගයට සහභාගීවූ ගයන්තිකා අබේරත්න හෙට පැවැත්වෙන අවසන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය. ගයන්තිකා අබේරත්න මූලික වටයේ සහභාගීවූ ක්‍රීඩිකාවන් 12ක් අතුරින් හොදම කාලය වාර්තා කිරීමට සමත්වූ අතර ඇයගේ දක්ෂතාව විනාඩි 2:12.93ක් වූවාය. ඇයට ආසන්න කාලයක් වාර්තා කිරීමට කිරිකිස්තානයේ ඇරීනා කෙලෙස්චුකෝවා සමත්වූ අතර ඇයගේ කාලය විනාඩි 2:14.10ක් විය. මේ තත්ත්වය අනුව අවසන් තරගයේදී ගයන්තිකාට පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථා ඇතැයි විචාරකයෝ පවසති. ගයන්තිකා මෙම ඉසව්වේ හොදම කාලය ලෙස විනාඩි 2:2.55ක් මෙයට පෙර වාර්තා කොට තිබුණි.

ටයිකොන්ඩෝ කිලෝග්‍රෑම් 54 බර පන්තියේ මූලික වටයේ තරගයකට සහභාගීවූ අනුර බණ්ඩාර 21-17ක් ලෙස ටර්කිමෙනිස්තානයේ ඉසන්බර්ඩී ගුලාමෝව් හමුවේ පරාජයට පත්විය. 

නව අදහස දක්වන්න