බටහිර ආසියානු රගර් කිරුළ මහනුවර පිල අභියස | දිනමිණ

බටහිර ආසියානු රගර් කිරුළ මහනුවර පිල අභියස

ෆවුස් මොහොමඩ්

මහනුවර ක්‍රීඩා සමාජය සහ බහරේන් රගර් ක්‍රීඩා සමාජය අතර බටහිර ආසියානු ක්‍රීඩා සමාජ රගර් තරගාවලියේ තීරණාත්මක තරගය මේ මස 22 වැනිදා පස්වරු 4.00ට නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

බටහිර ආසියානු රගර් ශූරතාව දිනාගන්නා පළමු අරාබි නොවන රට බවට පත්වීමට ආසන්නයේ සිටින ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් යුතු මහනුවර ක්‍රීඩා සමාජයට මේ තරගය ප්‍රසාද ලකුණක් සමග ජයග්‍රහණය කළ යුතුව තිබේ.

වසර 2015 සිට අඛණ්ඩව මේ තරගාවලියට එක්වී සිටින මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වසරේදී අනුශූරයන් බවට පත්වූ අතර අබුඩාබියේ හාලික්වීන්ස් ක්‍රීඩා සමාජය ශුරතාව දිනාගත්තේය.

මෙවර තරගාවලියේදී මහනුවර ක්‍රීඩා සමාජය තරග දෙකකට සත්කාරකත්වය ලබාදෙන අතර එහි පළමු තරගය පසුගියදා හාලික්වීන්ස් කණ්ඩායම සමග පැවත්විණි. එහිදී දෙපිලම ලකුණු 29 බැගින් රැස් කිරීම හේතුවෙන් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

එම තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-10කින් පෙරමුණ ගත් අබුඩාබි පිල අවසන් මිනිත්තුව දක්වාම පෙරමුණේ පසුවූ අතර අවසන් මොහොතේ දි ප්‍රතිවාදී පිල අන්දමන්ද කළ ලවංග පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 29-29ක් ලෙස සමවිය. කෙසේවෙතත් එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගැනීමට තිබූ කදිම අවස්ථාව අර්ෂද් ජමාල්දීන් වෙතින් ගිලිහී ගියේය.

මේ වනවිට අබුඩාබි හාලික්වීන්ස් පිල තරග 2කදී එක් ජයග්‍රහණයක් වාර්තා කර ලකුණු 8ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර එක් තරගයකදී ලකුණු 3ක් ලබා මහනුවර ක්‍රීඩා සමාජය දෙවැනි තැන රැඳී සිටී. බහරේන් රගර් ක්‍රීඩා සමාජය සහභාගි වූ එකම තරගයෙන් හාලික්වින්ස් පිල හමුවේ පරාජයට පත්වීම නිසා එක් ප්‍රසාද ලකුණක් ලබා තුන්වැනි තැන පසුවෙයි.

මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස හිටපු නායක ෂෝන් විජේසිංහ කටයුතු කරන අතර සාලිය කුමාර සහය පුහුණුකරු ලෙස එක්වී සිටී.

නව අදහස දක්වන්න