නිලධාරීන් 3000ක් දිනපතා මදුරු මර්දන වැඩසටහනේ | දිනමිණ

නිලධාරීන් 3000ක් දිනපතා මදුරු මර්දන වැඩසටහනේ

සන්ධ්‍යා කරුණාරත්න

ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට (20) සිට 26 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

ඉදිරි කාලය තුළ ඇති විය හැකි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යාමේ අවදානමක් පවතින අතර එයට විසඳුමක් ලෙස ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර රට පුරා මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම සිදුකෙරේ.

රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 188 ක ක්‍රියාත්මක කරන ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සඳහා දිනපතා කණ්ඩායම් 3000 බැඟින් නිලධාරින් 9000 ක් නිරීක්ෂණ කටයුතුවලට යොදවන බවත් එක් කණ්ඩායමකට නිලධාරින් තිදෙනකු බැඟින් යොදවන බවත් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය එක්ව මේ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය, සෞඛ්‍ය නිලධාරින්, අමාත්‍යාංශයන්හි නිලධාරින් ඇතුළු බොහෝ නිලධාරින්ගේ සහභාගිත්වය ලැබෙන බව ද ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (18) ප්‍රකාශ කළේය. රට පුරා ඩෙංගු රෝගීන් 150,000 කට වැඩි පිරිසක් මේ වන විට වාර්තා වූ අතර මරණ 390 ක් වාර්තා වී තිබේ.

ඩෙංගු මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරමින් රට පුරා සෑම නිවෙසකටම තම පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමට පවත්වාගෙන යාම සඳහා මදුරු කාඩ් එකක් ලබාදීම සිදු කරන බවත් එම කාඩ්පත ඉතාම සුරක්ෂිතව නිවෙස්වල පවත්වාගෙන යාමෙන් මදුරු මර්දන කටයුතු ඉතා සාර්ථකව සිදු කළ හැකි බවත් ඒ මහතා පැවැසුවේය.

පසුගිය දිනවලට වඩා මේ දිනයන්හි ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අඩු යැයි ද දින දෙකකට වඩා කිසියම් පුද්ගලයකුට උණ රෝගය පවතින්නේ නම් රජයේ රෝහලකට ගොස් ඩෙංගු රුධිර පරීක්ෂාව සිදු කර ගත යුතු යැයිද ඔහු කීය.


නව අදහස දක්වන්න

Or log in with...