අහන්න; මේ කියන්නේ සාමය ගැනයි | දිනමිණ

අහන්න; මේ කියන්නේ සාමය ගැනයි

 සාමය ඉතාම කුඩාම අකුරු ත්‍රිත්වයක් වුවත් ඒ සෑම කුඩා අකුරක් ඇතුළතම ඇත්තේ දැවැන්ත මිනිස් පොකුරකි. ඒ මිනිස් පොකුරේ ජීවත් වීම පිළිබඳ ආශාවය. සිවිල් පුරවැසියන් ලෙස යුද ගැටුමකට මැදි වීමේ භයානක බව පසුගිය තිස් වසර පුරාම ශ්‍රී ලාංකිකයෝ අඩු-වැඩි ප්‍රතිශතවලින් අත් වින්ඳෝය. දෙපාර්ශ්වයේ මරණ; ඉලක්කමින් අසා තරාදියට දමා බර වැඩි පැත්ත සෙවීමේ නීච ක්‍රීඩාවේ ඒ තිස් වසරේම අපි නියුක්ත වීමු. එහෙත් සාමයේ සහ සංහිදියාවේ වුවමනාව මේ මිනිසුන්ගේ හෘදයේ ගින්නක් මෙන් ඇවිලෙමින් නොතිබුණේ යැයි කාට නම් කිව හැකිද? ගම්මාන මායිම් ගම්මාන ලෙස බෞතීස්ම ලැබූයේ ද, නගර යුද කලාප ලෙස බෞතීස්ම ලැබූයේ ද මේ අකාලයේදීමය. සාමාන්‍ය ජන ජීවිතය පතුලෙන් ඇද කනපිට ගැසූ හෙයින් තිබුණේ සාමාන්‍ය ජන ජීවිතයක් නොවේ.

එක මිටට ලේ හෙළූ රටක් දැන් ඒ ලේ සෝදා හරිමින් එකිනෙකා ගේ මුහුණ බැලීමට; තැත් කරමින් සිටිනු පෙනේ.

මේ වටපිටාවක ගීතයකට කළ හැක්කේ කුමක්දැයි විපිළිසරව ඇසීමට සිදුව තිබේ. ගීතයකින් ඔබට කළ හැකි බලපෑම කුමක්ද? වචන තුළ බලයක් පවතී යැයි මිනිසුන් වශයෙන් ඔබ විශ්වාස කරන්නේද?

'මොහොතක් හොඳින්
අපි ඇහුවෝතින්
ඒ ඇහෙන්නෙ,සාමය ගැනයි'

අහඹු ලෙස අසන්නට ලැබුණ, ඒ සමඟ රූපාවලියක් නරඹන්නට ලැබුණු මේ ගීතය ඔබට වචන පිළිබඳ යම් විශ්වාසයක්, ඒ වචනවලින් නැංවෙන අරුත් පිළිබඳ විශ්වාසයක් ඇති කරවීමට සමත් වනු ඇතැයි සිතමි. යුද්ධය පිළිබඳ මෙතෙක් කියූ සෑම රූපකයක්ම, සෑම සංකල්පයක්ම පාවිච්චියට ගනිමින් විශාල හැඟීම් ගොන්නක අසන්නාව ගිල්වා දමන්නට එය සමත් ය.

දැන හෝ නොදැන හදිසි කම්පනයකට විනාඩි 7 1/2 ක් ලක් වීමට සිදු වීම තවත් කාරණයකි. ඉන්ද්‍රචාප ලියනගේ ගේ කටහඬ සහ , අසන්නා අවනත කර ගැනීමට ඊට ඇති හැකියාව ඊට මූලිකම හේතුවයි.

ගීතය අතරතුර අවධාරණාත්මක ස්වරයෙන් ඔහු පවසන වාක්‍ය ඉතා සරලය. එහෙත් ඉන් බහු අරුත් සම්පාදනය වේ.

'බලෙන් යුද්දෙට අරන් ගිය ළමයි වගේම යුද්දෙට මැදි වුණු ළමයිනුත්. අකාලයේ මියැදුණා'

යුද්ධයකින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලේ ගැලීම් හැරෙන්නට එතුළ සාධාරණත්වයක් හෝ සදාචාරයක් තිබිය හැකිද? බිම් බෝම්බ වැළලීමට සිතියම් තිබිය යුතු මුත් සිතියම් රහිතව වැළැලූ බිම් බෝම්බවලට හසු වූ මිනිසුන් මෙන් අපි හදිසි මරණ රාශියක් අතැතිව සිටියෝ නොවෙමුද? යුද්ධය නිෂ්පාදනය කළෝ කවරහුද? දෙපාර්ශ්වයටම අවි, ආයුධ සම්පාදනය කරමින් යුද්ධයෙන් ලාබ ලැබූවෝ කෙතරම්ද?

මේ මොහොතේ අප බලාපොරොත්තු විය යුතු සාමය සහ සංහිඳියාව නිෂ්පාදනය කරන්නෝ කවරහුද? යුද්ධය නිෂ්පාදනය කළ අයටම එය කළ නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය. එසේ නම් සාමය ඉල්ලා සිටින්නෝ කවුරුද? යුද්ධයේ අතර මැද ට වී වසර තිස් ගණනක් තැලුම් කෑවෝ නොවන්නහුද? සාමය,සංහිඳියාව ඉල්ලා සිටිය යුත්තේ මේ පීඩාවට සෘජුවම ලක් වූවෝය. ඒ අරගලයට පොදු මහජනතාව ලැහැස්තිදැයි අප සැක හැර දැන ගන්නේ කෙසේද? මේ ප්‍රශ්නාවලියෙන් ගැලැවී යාමට මට හැකියාවක් නැත. ඔබටද හැකියාවක් නැතැයි මම සිතමි. එවන් පසුබිමක සිට නැවතත් අපි පෙර කී ගීතය අසන්නෙමු.

“කඳුළැල් ගැලූ සුසුමන් හෙළූ
ඒ කියන්නෙ, සාමය ගැනයි”

මේ කියන කඳුළු සහ සුසුම් තුළ පැවැති අවසාන බලාපොරොත්තුව සාමය වී නම් එතැනට එළැඹීමට පෙර තිබූ අවශේෂ බලාපොරොත්තු මොනවා විය හැකිද? යුද්ධයක් අතර මැද නොමැරී සිටීමෙන් පටන් ගෙන ජීවත් වීම තෙක් ඇදී ආ බලාපොරොත්තු පොකුරු බිම හැළුණු අය කෙතරම් වීද? යුද්ධයත්-සාමයත් අතර පැවැති ගන්ධබ්බ භූමියේ ක්ෂය වී ගිය ජීවිත සහ මතක ගණනය කළ හැකිය. එහෙත් ඒ කිසිඳු සංඛ්‍යාවකට අපට හරිම වටිනාකම ලබා දිය හැකිද? මා මේ කියන්නේ සාමය සමඟ ආ ගමනේ භයානක සිහින, කෙතරම් අවදියෙන් සිටියත් අමතක කළ නොහැකි බවයි. සාමය සහ සංහිඳියාව ඉල්ලා සිටීමේ අයිතිය පොදු මහජනතාව වෙත එදා සිටම පැවති බවය. යුද්ධයට විරුද්ධ වීමේ අයිතිය ද ඒ අයටම එදා සිටම හිමිව තිබූ බවයි.

“අහිංසක මිනිස්සුන්ට දෙවි පිහිටත් නැති වුණා.
ඔවුන්ට සාධාරණයක් ඉ‍ටු වෙන්න ඕන.
ඇහෙනවද?”

ඉතිං ඇත්තටම ඔබට ඇහෙනවද? තාමත් නෑසූ කන්ව සිටින්නට අදිටන් කරගෙන සිටිනවාද? තීරණය ඉතාම සරලව ඔබ වෙතට පවරා ගන්නත්, අන් අයකුට දී නිහඬව අහක බලා සිටින්නත් හැකිය. එහෙත් මතක තබා ගත යුතු කාරණා ද්විත්වයකි. එසේ අහක බලා සිටීමෙන් අවුරුදු 30ක් මුළුල්ලේ පීඩා විඳි බවය. අනෙක් කාරණය ඉතිහාසයේ පුනරුප්පත්ති අපට තවමත් නුවමනා බවය. වචනවලට ඇති බලය විශ්වාස කරන්න හැකි සේම මනුෂ්‍යත්වය විශ්වාස කිරීමට ද ඔබට හැකි බවය. එවන් පසුබිමක සිට යළිත් අපි මේ ගීතය අසන්නෙමු.

“ඇතිවූ කැළැල් මතුවූ තැවුල්
ඒ කියන්නෙ, සාමය ගැනයි”

කැළැල් වැසීමේ ක්‍රියාමාර්ග කිසිවකු සතු වන්නට පුළුවන. එහෙත් කැළැල ලත් දින ඇති වූ වේදනාව කෙනෙකුට අමතකව යා හැකිද?

“යුද්ධය නිසා ගැහැනුන් අසරණ වුණා.
සැමියා මිය ගිය අය,
සැමියා ආබාධිත වුණ අය,
අතවරයට ලක් වුණ අය අදටත් අසරණයි”

මේ අසා පුරුදු කතාන්දරයකි. එහෙත් ඒ කතාන්දරය අපට මෙතරම් අසා පුරුදු මන්දැයි යළිත්, යළි යළිත් නැවතිල්ලේ සිතා බැලිය යුතුය. ව්‍යසනාත්මක වාක්‍ය අපට අසා පුරුදු ඒවා වන්නේ මන්දැයි සිතීම මම ඔබට පවරමි. ඔහු කියන්නේත් “අහන්න, මම කියන්නම්” කියාය. ඉතිං ඔබ අහන්න. ඔහු කියූ දේ අතර නොකියූ දේත්, ඔබ සිතන දේත් තව දුරටත් සිතන්න. අපට සාමය ඇවැසි වන්නේ අන් අයකුගේ බහක් නිසා නොවිය යුතුය. සාමය ඇවැසි වන්නේ ඔබ තුළින් නැ‍ඟෙන හැඟීමක් නිසා විය යුතුය. ඒ අතරම කිසිවකුට බන්දේසියක තබා 'මෙන්න ඔබ ඉල්ලූ සාමය' කියා පිළිගැන්විය නොහැකිය. පුරවැසියන් තමන් සතු යුතුකම් ඉ‍ටු කරන අතරතුර එය දිනාගත යුතුය.

එවන් මොහොතකය යළිත් අප මේ ගීතය අසන්නේ.
“බැල්මකින්වත් වචනෙකින්වත්
හිංසා නොවන්නට අයිතියයි
මොහොතක් හොඳින් අපි ඇහුවෝතින්
ඒ ඇහෙන්නෙ, සාමය ගැනයි”

ඔබ සිතන්නේ ඔබ හොඳින් ඇහුම්කම් දෙමින් සිටින්නේ යැයි කියාද? ඔවුන් සිතන්නේ ඔබට නෑසෙන්නේ යැයි කියාද? සත්‍ය කුමක්ද? ඇසීම-නෑසීම අතර විසාල පරතරයක් හෝ තාප්පයක් ඇතිද? මේ තාප්ප බර්ලින් තාප්ප තරම් උසද? මේවා සිතුවිලි තාප්ප පමණක් කියා සැනසිල්ලේ පසුවීමට හැකිද? මෙතරම් ප්‍රශ්න නැඟීමේ හේතුව කුමක්ද? අපට ප්‍රශ්න හැරෙන්නට පිළිතුරු රාශියක් ලැබුණු ජාතියක්ද? එවන් වටපිටාවක අපි යළිත් ගීතය අසන්නෙමු.

“පාලකයන්ට ඕනෙ වුණේ යුද්ධය දිනන්නයි,
ඒත් උතුරේ, දකුණේ මිනිස්සුන්ට ඕන වුණේ සාමයයි.
එදා දෙපැත්තෙම සමහර නායකයින්ට සාමය ඕනෙ වුණේ නෑ.
යුද්ධය අවසන් කළත් සාමය දිනාගන්න බැරි වුණේ
ඒ වැ‍රැදි නිසයි.”

ගීතය අතර මැද කියන මේ වාක්‍ය සමස්තයේම වේදනාව පෙන්නුම් කරන්නාක් සේය.

අවසානයටත් කියන්නේ එකම දෙයකි. අවධාරණාත්මක සත්‍යයකි.

“අපේ හදවතින් අපි ඇහුවෝතින්
ඒ කියන්නෙ සාමය ගැනයි
මොහොතක් හොඳින් අපි ඇහුවෝතින්
ඒ ඇහෙන්නෙ සාමය ගැනයි
අහන්න
ඒ ඇහෙන්නෙ, සාමය ගැනයි”

අහන්න. නෑසූකන්ව සිටීමේ ඵලවිපාක අනල්ප කාලයක් මුළුල්ලේම අප විඳ ඇති හෙයින් දැන්වත් අහන්න. මේ කියන්නේ සාමය ගැනයි.

කාංචනා අමිලානි


නව අදහස දක්වන්න

Or log in with...